Friday, May 10, 2024

General line - 0115112241

කොම්පඤ්ඤ විදියේ මෙහෙයුමකින් ඉන්දීය ජාතිකයින් 44ක් අත්අඩංගුවට 

දිනුක් හේවාවිතාරණ




සංචාරක වීසා මත මෙරටට පැමිණ කොළඹ කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානයක සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් 44 දෙනෙකු අද (05) අත්ඩංගුවට ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා.

මෙම ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානය සම්බන්ධයෙන් දින දෙකක කාලයක් ආවේක්ෂණය කිරීමෙන් පසුව අද අළුයම 5.00 ට පමණ මෙම මෙහෙයුම දියත් කල බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නියෝජ්‍ය පාලක එම්.ජි.වී. කාරියවසම් සඳහන් කර සිටියේ.

මෙහිදී වයස අවුරුදු 25 සහ 50 අතර වයස් සිමාවේ පසුවූ ඉන්දියානු ජාතිකයින් 44 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ට මෙරට රැඳී සිටීමට ලබාදී තිබු විසා කාලය මාස 2-3 අතර ඉක්මවා සිටීම හේතුවෙන් බවයි විශේෂ විමර්ශන අංශයේ නියෝජ්‍ය පාලකවරයා සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දියානු ජාතිකයින් මෙරටට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බව පවසා බව හෙළිවී ඇති අතර ඔවුන් සේවය කරනු ලබන කොන්ත්‍රාත් සමාගම විසින් පසුගිය මාස දෙකක කාලය සඳහා වැටුප් පවා ගෙවා නොමැති බවට අදාළ ඉන්දියන් ජාතිකයින් ප්‍රකාශ කල බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නියෝජ්‍ය පාලකයවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම එම ගොඩනැගිලි ඉදිකරනු ලබන ස්ථානයේ තිබී තවත් ඉන්දියන් ජාතිකයින් 18 දෙනෙකුගේ ගමන් බලපත්‍ර තමන් භාරයට ගත් බවත් ඒ අදාළ ගමන් බලපත්‍ර වල රැකියා විසා ලබාදී ඇති නමුත් ඒ ඉදිකිරීම් කේෂ්ත්‍රයට අදාළ නොවීම හේතුවෙන් බවයි නියෝජ්‍ය පාලකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අද දිනයේදී මිරිහාන විශේෂ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවත් ඔවුන් සේවය කරමින් සිටි කොන්ත්‍රාත් සමාගමේ හිමිකරුවන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නියෝජ්‍ය පාලක එම්.ජි.වී. කාරියවසම් ප්‍රකාශ කර සිටියා.