Wednesday, May 8, 2024

General line - 0115112241

රනිල් සහ සජිත් අතර සාකච්ඡාව කල්දැමේ - හේතුව හරීන් කියයි

සජිත් තිලකරත්න




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර අද (08) පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාකච්ඡාව කල් දමා තිබෙනවා. අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පැවසුවේ එම සාකච්ඡාව ලබන අඟහරුවාදා දක්වා කල් දමා ඇති බවයි. 

එහිදී "සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යබහුලත්වය නිසා තමයි සාකච්ඡාව කල්දැමුණේ. එදිනට අපි දැනට අපි සතුව තියෙන සමීක්ෂණවල වාර්තා භාර දෙනවා.  කොහොමත් අපි ඉස්සරහට තිබ්බ අඩිය පස්සට තියන්නේ නෑ. ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා.. වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා.. කියලා කතාවක් තියෙනවා නේ.. ඒ නිසා අපිත් එතන ඉන්නවා. අනිවාර්යයෙන්ම දෙවන පියවරක් තියෙනවා. " යනුවෙන්ද සඳහන් කෙරුණා.

මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ඊයේ (07) ප‍්‍රකාශ කළේ අග‍්‍රාමාත්‍යවරයා ද ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සූදානම් වී සිටින බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සමග පැවති හමුවේදී ප‍්‍රකාශ කළ බවයි.

කෙසේවෙතත්, එම සාකච්ඡාවේදී එවැනි එකඟතාවයකට නොපැමිණි බව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කළා.

ජනාධිපති ධුර අපේක්‍ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය තුළ මතුව ඇති අර්බුදය ඉදිරි  දින කිහිපයේදී විසදෙනු ඇති බවයි එහි භාණ්ඩාගාරික කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කොළඹ ඊයේ පැවති සමුළුවක් අමතමින් ප‍්‍රකාශ කළේ.