Saturday, April 27, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩලයේ ප්‍රශ්න කැබිනට් මණ්ඩලයේදී විසඳා ගත යුතුයි : අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් 




කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ප්‍රකාශ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් එය සාකච්ඡා කළ යුත්තේ කැබිනට් මණ්ඩලය තුළදීයි. එසේ නොකිරීම කැබිනට් සම්ප්‍රදාය කඩකිරීමක් බවත් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් 20 සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා කැබිනට් රැස්වීමක් කැඳවන්න ද කියා තමාගෙන් ජනාධිපතිවරයා විමසු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටිනවා. 

එමෙන්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන තමන් හා සමග සාකච්ජා කල බවත් එහිදී අනෙක් පක්ෂ වල සහයෝගය නොමැතිව එවැනි දෙයක් සිදුකිරීම අපහසු බව තමන් ප්‍රකාශ කල බවයි අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

අගමැතිවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින් දැක්වේ,


" පසුගිය සතියේ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් මා හමුවී අපේ ආණ්ඩුව කළ කටයුතු හා කිරීමට අතපසු වූ කටයුතු ගැන අදහස් දැක්වූවා. අපේ පක්ෂය 2014 වසරේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට යෝජනාවක් සම්මත කර ගත් බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් අපි තව දුරටත් පෙනී සිටින බවත් මම ඔවුන්ට දැන්වූවා.

එවිට ඔවුන් ඉල්ලා සිටියේ 20 වන සංශෝධනය සඳහා සහය දීමේ කැබිනට්  තීරණයකට එළැඹෙන ලෙසයි. ඒ අනුව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම සඳහා සැකසූ කෙටුම් පතක් ඔවුන් 16 වෙනිදා මට ලබා දුන්නා.

අනෙකුත් දේශපාලන පක්ෂවල සහය ලැබීමෙන් තොරව 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නොහැකි බව මම සිවිල් සංවිධාන නියෝජිතයන්ට පෙන්වා දුන්නා. ඒ නිසා අනෙකුත් දේශපාලන පක්ෂකවල අදහස මා වෙත දැනුම් දෙන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.
 
17 වන දා පාර්ලිමේන්තුවේදී සුමන්තිරන් මන්ත්‍රිතුමා මට පැවසුවේ විධායක ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා පැවැත්වූ බවයි. ඒ වගේම ජනාධිපතිතුමාටත් 20 වන සංශෝධනය ගෙන ඒමට අවශ්‍ය බව ජනාධිපතිතුමා තමාට දැනුම් දුන් බව මන්ත්‍රිතුමා වැඩිදුරටත් දැන්වුවා. එතැනදී මම සුමන්තිරන් මන්ත්‍රිතුමා පෙන්වා දුන්නේ මේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නම් පොදුජන පෙරමුණේ සහයෝගයද අවශ්‍ය බවයි.

සුමන්තිරන් මන්ත්‍රිතුමා මේ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබෙනවා. ඒ ප්‍රකාශය කිසිවෙකු ප්‍රතික්ෂේප කර නැහැ.

19 වෙනිදා උදේ 8.16 ට ජනාධිපතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. 20 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරීමට කැබිනට් රැස්වීමක් කැඳවන්නද කියා එතුමා මගෙන් විමසුවා. සිවිල් සමාජය මේ පිළිබඳ ඉල්ලීමක් කළ බව මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ස්ථාවරය සුමන්තිරන් මන්ත්‍රිතුමා මට දැනුම් දී තිබුණා. ඒ නිසා කැබිනට් මන්ඩලය කැඳවා සාකච්ඡා කිරීම සුදුසු බව මම ජනාධිපතිතුමාට කිව්වා.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඒ රැස්වීම කැඳවීම පහසු බවත් මම පැවසුවා. එදින රවි කරුණානායක මහතා මට දුරකථන ඇමතුමක් දුන්නේ නැහැ.

උදේ 9.00 පමණ වෙද්දී කැබිනට් ලේකම්වරයා මගේ ලේකම්වරයාට එදින සවස 3.00 කැබිනට් රැස්වීම පැවැත්වෙන බව දන්වා තිබුණා. ඉන් පසු මගේ ලේකම්වරයා සිවිල් සමාජය විසින් ඉදිරිපත් කරන ලද කෙටුම් පත අවශ්‍ය වුවහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා කැබිනට් ලේකම්වරයා වෙත යොමු කළා.
 
සවස 02 ට ඇමතිවරුන් කැඳවා මම මේ ගැන දැනුම් දුන්නා. ඒ සාකච්ඡාව ඉතා උණුසුම් වුණා. සියළු දෙනා විවෘතව අදහස් පළ කළා, එහිදී 20 වන සංශෝධනය සඳහා එකඟත්වයක් ලැබුණේ නැහැ.

මම කැබිනට් මණ්ඩල රැස්වීමට පෙර ජනාධිපතිතුමාට ඇමතිවරුන් අතර එකඟත්වයක් නැති බව දැනුම්දුන්නා. රැස්වීම ආරම්භයේදී මම ජනාධිපතිතුමා ඉදිරිපිටදීම කැබිනට් ලේකම්වරයාට දැනුම් දුන්නේ ඇමතිවරුන් අතර එකඟත්වයක් නැති නිසා කැබිනට් කෙටුම් පත ඉදිරිපත් කිරීමෙන් පලක් නොවන බවයි. ඇමතිවරුන් දැක්වූ අදහස් මම ඒ රැස්වීමේදී සම්පිණ්ඩනය කළා. ඇමැතිවරු විවිධ අදහස් පළ කළා. අවසන් තීරණය ගැනීම එක් එක් පක්ෂවලට භාර කිරීම සුදුසු බව අප නිගමනය කළා.
 
කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ප්‍රකාශ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් එය සාකච්ඡා කළ යුත්තේ කැබිනට් මණ්ඩලය තුළදීයි. එසේ නොකිරීම කැබිනට් සම්ප්‍රදාය කඩකිරීමක්. ඒ නිසා මම මෙතැනදී පෙන්වාදෙන්නේ සිදු වුණු කරුණු පමණයි. ඒ නිසා කිසිවෙකුට අවලාද නගන්නට හෝ දොස් කියන්නට හෝ මම කටයුතු කරන්නේ නැහැ"
 යනුවෙන් අගමැතිවරයා සිය විශේෂ ප්‍රකාශය සිදුකරමින් කියා සිටිනවා.

කෙසේ වෙතත් ඊයේ (21) මාතලේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සම්මේලනයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ පසුගියදා පැවති විශේෂ කැබිනට් රැස්වීම කැඳවන්නයි කියා ඉල්ලීම සිදුකලේ අගමැතිවරයා බවයි.