උතුරු නැගෙනහිර අර්බූදයට හොදම විසදුම එම පළාත් දෙක සදහා දේශපාලන පරිපාලන ව්‍යුහයක් සකස් කොට එය පාලනය කිරීම දෙමළ පිරිසකට බාර දිම යැයි උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ප්‍රකාශ කර සිටිනවා. දැනට ඇති පළාත් සභා ක්‍රමය තුලින් එවැනි පාලන ක්‍රමයක් බිහිකළ හැකි බවයි මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ.
එය උතුරු පළාත් සභාව සදහා පමණක් නොව දිවයිනේ පිහිටුවා ඇති සෙසු පළාත් සභා නවය සදහාම මෙවැනි පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් ඒ ඒ පළාත් පාලනය කිරීම ඒ ඒ පළාත් වල සිටින පිරිස් වෙත බාර දිය යුතු බව ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
උතුරු නැගෙනහිර පළාත් දෙක දෙමළ ජනතාවට අයත් නිසා එම පළාත් පාලනය විය යුත්තේ දෙමළ පිරිසක් අතින් බව හිටපු මහ ඇමතිවරයා සඳහන් කර සිටියි.
සිංහල ජනතාවට අවශ්‍යනම් උතුරු සහ නැගෙනහිර පළාත් තුළ ජීවත් විය හැකි නමුත් ඔවුන්ට ඒ පළාත් වල අයිතිය සම්බන්ධයෙන් හෝ උරුමය සම්බන්ධයෙන් අයිතිවාසිකම් කීමට හැකියාවක් නොමැති බවයි කියා සිටින්නේ.
උතුරු නැගෙනහිර පළාත් තුළ සිංහල වැසියන් කොපමණ සංඛ්‍යාවක් පදිංචි වූවත් ඊට දෙමළ ජාතිකයින් විරුද්ධ නොවූවත් සිංහල ජාතීන්ට එහි අයිතියක් නොමැති බවත් ඔවුන් හා මේ පළාත් වල සියලු පදිංචිකරුවන් පාලනය විය යුත්තේ දෙමළ පිරිසක් අතින් බවත් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.
‘’උතුරු නැගෙනහිර ඕනෑම පළාතක සිංහල මිනිස්සුන්ට ඕනේ තරම් ජීවත් වෙන්න පුලුවන්. හැබැයි ඒ අය මතක තියා ගන්න ඕනේ ඒ අයට ඒ පළාත් වල අයිතියක් නැහැ කියලා. මේ පළාත් සභා ක්‍රමය අනුව අපි විතරක් නෙමෙයි, හැම පළාත් සභාවකම අය ඉල්ලන්නේ ඒ ඒ තමන්ගේ පළාත් වල ඉන්න ජනතාව පාලනය කරන්න ඒ යට බලයක් දෙන්න කියලයි.අපි ඉල්ලන්නෙත් ඒකම තමයි. අපි ඉල්ලන්නේ නැති දෙයක් නෙමෙයි. පළාත් සභා බලතල වලට අනුව තියන දේවල් ලබා දෙන්න කියලයි. මට දැන් වයස අවුරුදු 80 ක් වෙනවා. මම සිංහල පළාත් වල ජීවත් වුණා. අපිට එදා ලංකාවේ ඕනෙම තැනකට යන්න පුලුවන් වුණා. ඕනෙම දෙයක් කරන්න පුලුවන් වුණා. මේක වෙනස් වුණේ 1957 අවුරුද්දෙයි. දකුණේ මිනිස්සු ඒ පළාත් වල හිටපු දෙමළ මිනිස්සුන්ට ගහලා එලවලා දැම්මා. දැනට වුණත් තිස්සමහාරාමයේ පසුපති කියන දෙමළ මනුස්සයාට අයිති කුඹුරු තියනවා. එව්වට ඔප්පු තිබුණත් 1958 දී සිංහල මිනිස්සු එව්වා බලහත්කාරයෙන් අත්පත් කර ගත්තා. ඉතින් දකුණේ සිංහල මිනිස්සු එහෙ හිටපු දෙමළ මිනිස්සුන්ට ගහලා එලවලා ඒ අයගේ දේපල ඉඩම් අත්පත් කරගෙන දැන් උතුරේ සිංහල මිනිස්සුන්ට ඉන්න දෙන්න කියලා කියන එක වැරදියි.
මෙන්න මෙහෙම වුණු අසාධාරණය නිසා තමයි කියන්නේ අපි උතුරු සහ නැගෙනහිර පළාත් අපිට පාලනය කරන්න දෙන්න කියලා. දැන් වෙන්නේ පළාත් සභා ක්‍රමය තිබුණත් මධ්‍යම ආණ්ඩුව එයාලට ඕනේ විදිහට උතුරු නැගෙනහිර පාලනය කරණ එකයි. ඒක නිසා තමයි මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ.
ඕනෑම ජාතියකට තමන්ගේ කියලා ප්‍රශ්න ජාතියක් තියනවා. ඒ ප්‍රශ්න කතා කරන්න එක් දිනයක් ස්ථානයක් තෝරාගෙන කටයුතු කිරීම ජාතිවාදය නොවෙයි.
දැන් සිංහල මිනිස්සු පිහිටුවා ගත්ත සිංහල සංවිධාන ගණනාවක් තියනවා. ඒවායේ කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්න කතා කරලා එව්වට විසදුම් හොයන එකයි. අනිත් ජාතීනුත් එහෙමයි. මේ දෙමළ ජනතාවගේ පිබිදීම හෙවත් ‘’එළුහ තමිල් ‘’උළෙලෙදි සිද්ධ කළෙත් ඒකම තමයි.අපේ දෙමළ අය රැස්වුණා අපේ ප්‍රශ්න කතා කළා. මේකෙදි අපිට පෙණුනා දෙමළ ජාතීන්ට තවමත් විසදිලා නැති ප්‍රශ්න ගණනාවක් තියනවා කියලා.ඒ ප්‍රශ්න අතරින් ප්‍රශ්න හතක් ප්‍රධාන ප්‍රශ්න කියලා අපි තේරුම් ගන්තා.
උතුරු සහ නැගෙනහිර පළාත් දෙක එකට එකතු කිරීම, දෙමළ ප්‍රශ්නය විසදීම සදහා සුදුසු දේශපාලන විසදුමක් සෙවීම, යුද සමයේදී අතුරුදහන්වුවන්ගේ ප්‍රශ්නය, දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ගැටලුව, උතුරේ ඉඩම් ප්‍රශ්නය, යුද අනාථයින් යළි පදිංචි කරවීම සහ යුද අපරාධ කළ පිරිසට දඩුවම් කිරීම යන ප්‍රශ්න වලට මේ දක්වා කිසිම විසදුමක් ලැබිලා නැහැ.
මේ ප්‍රශ්න වලට විසදුමක් ලබා ගන්න අපි සටන් කරන්න ඕනේ කියලා මේ දවසේ අපි යළි සාකච්ඡා කලා. ඒ සටන ආයුධ සටනක් නෙමෙයි. ඉල්ලීම් දිනා ගන්න කරගෙන යන අරගලයක්. ඉතින් අපි ඒක දිගටම කරගෙන යනවා.’’