විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඊයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) අදහස් පළ කළා. ඒ, කුරුණෑල පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සම්මේලනය අමතමින්.
" පොහොට්ටුවයි අපේ පක්ෂයයි සන්ධානයක් හදන්න යන එක ගැන රහසක් නෙමෙයි. ඒ ගැන පසුගිය මාස කිහිපයේදී සාකච්ජා කළා. ඒ ගැන ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ සහ මම සාකච්ජාවක් කළා. රට ඉදිරියට ගෙනයන වැඩපිළිවලක් යටතේ ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දෙන්න අපිට පුළුවන් උනාට පොහොට්ටුවට සහය දෙන්න අපිට බැහැ කියලා මම කෙලින්ම කිව්වා. ඒ අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය, පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ, පළාත් සභා නියෝජිතයින්ගේ වගේම ගමේ සිටින පාක්ෂියාගේ අදහස මොකක්ද කියලයි මම ඔවුන්ට පැහැදිලි කරලා කිව්වේ. ඒ අය අගමැතිකම දෙන්න, විපක්ෂ නායකකම දෙන්න වගේම දැනට පාර්ලිමේන්තුවේ තියාගෙන ඉන්න අපි මොනතරම් දේවල් කලාද? අඩුම තරමින් අපි කරන ඉල්ලීම ගැන හරි පොහොට්ටුව නම්‍යශීලි වෙන්න ඕනේ" ජනාධිපතිවරයා කියා සිටියා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තමා අතර ඇති විරසකය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා.
" රනිල්ගේ මගෙයි ගැටුම පුද්ගලික ගැටුමක් නෙමෙයි. එය දේශපාලන ප්‍රතිපත්ති වල ගැටුමක්, හොද සහ නරක අතර ගැටුමක්. රනිල්ව පන්නලා මහින්ද රාජපක්ෂ මහතාව අගමැතිකම ලබා දුන්නා. කිසිදු රාජ්‍ය නායකයෙක් කරපු නැති දෙයක් මම කළා. මම ගැසට් පහක් ගැහුවා. එහෙම කරලා මම මහින්ද රාජපක්ෂ මහත්තයාට ආණ්ඩුවක් හදලා දුන්නා. ඒත් එයාලට බැරි උනා පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ බලය පෙන්වන්න. ඒක මගේ වැරැද්ද නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා අද විපක්ෂ නායක ධුරයේ ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා කතානායකරයාට දුන්නු ලියුමේ පිහිටෙන්" යැයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියා.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ද මෙම සම්මේලනය අමතමින් අදහස් පළ කළා.