Wednesday, February 19, 2025

General line - 0115112241

ගෝඨාභයගේ ලේඛණ ඉල්ලා පාර්ශ්ව හතරකට අධිකරණයෙන් නියෝගයක්

අධිකරණ වාර්තාකරු



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළව විදේශ ගමන් බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත අදාළව ලේඛන ඇත්නම් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය අද (30) ආගමන විගමන පාලකවරයා ඇතුළු පාර්ශ්වයන් හතරකට නියෝග නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිකුත් කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා නියෝග කළා .

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ගේ ජාතික හැදුනුම්පතට සහ විදේශ ගමන් බලපත්‍රයට අදාළ ලේඛන ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරයා පාර්ශ්වයන් වෙත ලබා දුන්නා .

මෙම පෙත්සමට අදාළව ලේඛන භාර දීමට අද පස්වරුවේ කැදවූ අවස්ථාවේ අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී .

ඒ අනුව මෙම පෙත්සම ඔක්තෝබර් මස 2 දා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ , අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. එම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කර තිබේ.