ශ්‍රී ලංකා පොලිස් සේවයට අයත් සියලු නිලධාරීන්ට වැටුපට අමතරව මාසිකව දින 20ක විශේෂ සංයුක්ත දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවිර සහ වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න අතර පැවති සාකච්ජාවක ප්‍රතිපලයක් ලෙස මෙම විශේෂ දීමනාව පොලිස් නිලධාරීන්ට ලබාදීමට තීරණය කර ඇති බවයි.
ඒ අනුව ලබන මස සිට පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු 75,000ක් පමණ වන නිලධාරීන් පිරිසකට මෙම දින 20 සංයුක්ත දීමනාව හිමිවන බවයි මුදල් අමාත්‍යාංශයේ එම නිලධාරියා සඳහන් කර සිටියේ.
රාජකාරි අවශ්‍යතා මත පොලිස් නිලධාරීන්ට සෑම විටම ඔවුන් සේවය කරනු ලබන පොලිස් වසමෙන් බැහැරව යාමට සිදුවන අවස්ථාවන් වලදී ඒ සඳහා සංයුක්ත දීමනා ලබාගැනීම සඳහා වවුචර හා ලියකියවිලි ඉදිරිපත් කළ යුතුව පැවතියා. එවන් අවස්ථාවක ඇතිවන පරිපාලන වියදම් හා අනෙකුත් ප්‍රායෝගික දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම සංයුක්ත දීමනාව දින 20ක විශේෂ දීමනාවක් ලෙස පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ වැටුප සමඟ මාසිකව ගෙවීමට තීරණය කර තිබෙනවා.