Wednesday, February 19, 2025

General line - 0115112241

"ප්‍රසිද්ධ රැස්වීමකදී ඒ වගේ සැළකීම ගැලපෙන්නේ නෑ" - සජිත් කළ ආරාධනාව ගැනත් හූ හඬට ලක් වූ WDJ සෙනෙවිරත්නගෙන් පිළිතුරු  



ප‍්‍රදේශ කිහිපයක පැවැති ජනරැළිවලදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයින්ට එල්ල වු විරෝධය ඉදිරියේදී සිදුනොවනු ඇතැයි අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න පවසනවා.

ඉකුත් දා ඇහැළියගොඩ පැවැති ජනරැළියේදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්නට ද ඊට රැස්ව සිටි පාක්ෂිකයින් අතර සිටි පිරිසක් හූ හඬ නඟමින් විරෝධය පළ කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය පවා දැනුවත් කළ බවයි මන්තී‍්‍රවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

එහිදී ඔහු සඳහන් කළේ "සජිත් ප්‍රේමදාස මහතා මට කළ ආරාධනාව ගැනත් මට දැනගන්නට ලැබුණා. ඒ වගේම පෞද්ගලිකවත් එතුමා මට දුරකථන ඇමතුම් දීලා ඒ සිද්ධිය ගැන විස්තර ඇහුවා. මම කියන්න ඕනේ ඒක පක්ෂය සම්බන්ධ එක්කෙනෙක් දෙන්නෙක්ගෙ එහෙම නැතිනම් ඈත නොබලන කිහිප දෙනෙකුගෙ වැඩක්. රත්නපුර දිස්ත්‍රික්කයට විශාල සේවයක් කරලා තියෙන මම වගේ කෙනෙකුට ඒ වගේ ප්‍රසිද්ධ රැස්වීමකදි සැළකීම ගැලපෙන්නේ නෑ." යනුවෙනි.

මෙවැනි සිද්ධීන් මතුවුවද, දේශපාලන වශයෙන් පක්ෂ මාරුකිරීමේ සූදානමක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න වැඩිදුරටත් කියා සිටියේ. 

කොළඹ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයින්ට එරෙහිව සිදුකරන මෙවැනි කි‍්‍රයා නතර කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවයි. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ද ප‍්‍රකාශ කළේ කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් මෙලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයින් ඉලක්ක කර හූ හඬ තැබීම සිදුකරන බවයි.