Monday, April 29, 2024

General line - 0115112241

වයස්ගතම රයිනෝ සත්ත්වයා ලෝකයට අහිමි වෙයි




ටැන්සානියාවේ විසූ ලොව වයස්ගතම රයිනෝ සත්ත්වයා මියගොස් තිබෙනවා. ෆවුස්ටා යන සුරතල් නාමයෙන් හැඳින්වූ එම ගැහැණු රයිනෝ සත්ත්වයා මිය යන විට වයස අවුරුදු 57 ක්. ස්වභාවික හේතු මත මරණය සිදුව ඇති බව පශූ වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා.

ෆවුස්ටා අයත් වන්නේ නැගෙනහිර කළු රයිනෝ නම් සත්ත්ව විශේෂයටයි. එම සත්ත්වයාට අවුරුදු 54 ක් පමණ වනතෙක් වනාන්තරයේ නිදහසේ සැරිසරමින් දිවි ගෙවූව ද සෞඛ්‍ය තත්වය පිරිහීම හේතුවෙන් ෆවුස්ටා හට විශේෂ ආරක්ෂාවක් සහ ප්‍රතිකාර ලබා දීමට ටැන්සානියානු බලධාරීන් පියවර ගත්තා. දීර්ඝ කාලයක් තිස්සේ හයිනා වැනි සත්ත්වයින්ගේ ප්‍රහාරවලට ගොදුරු වීම හේතුවෙන් ෆවුස්ටා රයිනෝ සත්ත්වයාට මෙලෙස බරපතළ සෞඛ්‍ය ගැටලු මතු වී ඇති බවයි ටැන්සානියානු සත්ත්ව විශේෂඥයින් පවසන්නේ. ෆවුස්ටාගෙන් පැටවෙකු ලබා ගැනීමට දැරූ උත්සාහයන් ද ව්‍යර්ථ වී තිබෙනවා.

සාමාන්‍යයෙන් වනාන්තර ආශ්‍රිතව ජීවත් වන නැගෙනහිර කළු රයිනෝ සත්ත්වයෙකුගේ ආයු කාලය වයස අවුරුදු 37 ත් 43 ත් අතර වනවා. මේ වනවිට සීග්‍රයෙන් වඳ වී ගෙන යන සත්ත්වයින්ගේ ලැයිස්තුවට ද මෙම සත්ත්ව විශේෂය ඇතුළත්. මාංශ භක්ෂක සතුන්ගේ ගොදුරු බවට පත්වීම, රයිනෝ අඟ යොදා අධික මිලකින් යුතු විසිතුරු භාණ්ඩ සැකසීම වෙනුවෙන් මිනිසුන් විසින් රයිනෝ සතුන් ඝාතනය කිරීම හේතුවෙන් ද මෙම සත්ත්ව විශේෂය සීග්‍රයෙන් ලොවෙන් තුරන් වෙමින් සිටින බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.