Saturday, April 27, 2024

General line - 0115112241

ධවල මන්දිරයටම පහර දෙනවා : අපට එය කළ හැකියි - ඉරානය කියයි 




ලොව වැඩිම ආරක්ෂාවක් ඇති ජනාධිපති මන්දිරය ලෙස සැලකෙන අමෙරිකාවේ ධවල මන්දිරයට ප්‍රහාර එල්ල කරන බව ඉරානය අනතුරු අඟවා තිබෙනවා. ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ පිහිටි ඉලක්ක 52ක් වෙත ප්‍රහාර එල්ල කිරීමට හැකිබවට සඳහන් කරමින් නිකුත් කළ නිවේදනයට පිළිතුරු දක්වමින්.

" අපට ධවල මන්දිරයටම පහරදිය හැකි, අපිට ඔවුන්ගේම භූමියේදීම ප්‍රතිචාර දැක්වීම හැකියාව තිබෙනවා. ඒ සඳහා ශක්තිය අප සතුයි. දෙවියන්ගේ කැමැත්ත අනුව එය නියමිත වෙලාවට එය සිදුකරනවා"  යැයි ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රි අබොල්ෆාස්ල් අබුටෝරාබි ප්‍රකාශ කර සිටියා. 

'මෙය යුද්ධ ප්‍රකාශ කිරීමක්. ප්‍රමාද වුවහොත් එයින් අත්වෙන්නේ පරාජයයි. යම් අයෙක් යුද්ධය ප්‍රකාශ කලොත් ඔබ උණ්ඩ වෙනුවට මල්වලින් ප්‍රතිචාර දැක්වුවොත් ඔහු ඔබගේ හිසට වෙඩි තබනු ඇති" මන්ත්‍රිවරයා අද පැවති ඉරාන පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. 

ඉරාන විප්ලවීය හමුදා නායකයා ඉලක්ක කර ගනිමින් ඉරාකයේ දී එල්ලවූ ප්‍රහාරයෙන් දින දෙකකට පසුව ඉරාන පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ඔහු මෙහිදී සඳහන් කර සිටියේ අමෙරිකාව ආරම්භ කළ යුද්ධයට තදින්ම ප්‍රතිචාර දැක්විය යුතු බවයි.