Saturday, April 27, 2024

General line - 0115112241

පැතිරෙමින් පවතින නවතම වෛරසයක් ගැන අනතුරු ඇඟවීමක් 




චීනයේ, Wuhan ප්‍රාන්තයෙන් වාර්තාවූ කොරෝනෝ වෛරසය බෝවූ බවට සැකකරෙන පුද්ගලයෙකු ජපානයෙන් වාර්තාවූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙලෙස කොරෝනෝ වෛරසයට ගොදුරුවූ පුද්ගලයා ජපානයේ ටෝකියෝ අගනුවරට ආසන්න ප්‍රදේශයක ජිවත්වන 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

මෙම වෛරසය ලොව පුරා පැතිරීමේ අවධානමක් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් සඳහන් කරන්නේ. 

ඉකුත් දෙසැම්බර් මාසයේ අවසන් සතියේදී චීනයේ, Wuhan ප්‍රාන්තයෙන් වාර්තාවූ මෙම කොරෝනෝ වෛරසයට ගොදුරුවීමෙන් මේ දක්වා එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් රෝගීන් 40 දෙනෙක් වාර්තාවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

දැනට වාර්තා වී ඇති රෝග ලක්ෂණ අනුව මෙම කොරෝනෝ වෛරසයට ගොදුරුවන පුද්ගලයින්ට අධික උණ ගතිය, හුස්ම ගැනීමේ අපහසුව, පෙනහළු දෙකෙහිම නියුමෝනියා රෝගී තත්ත්වය වර්ධනය වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කර සිටින්නේ.

චීනයේ, Wuhan ප්‍රාන්තය එරට දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙසට නම් දරා සිටින බැවින් මෙම කොරෝනෝ වෛරසය වැළදුණු රෝගීන් සම්බන්ධයෙන් සුපරික්ෂාකාරිව සිටින්නැයි චීන බලධාරීන්ට ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් කර ඇත. 

මෙම රෝගය වැළදෙන ආකාරය සහ රෝගකාරකය සම්බන්ධයෙන් දිගින් දිගමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීන සෞඛ්‍ය බලධාරීන් එක්ව විමර්ශන සිදුකරනු ලබන අතර රෝගයට ගොදුරුව සිටින පුද්ගලයින් 40 දෙනා අනෙක් රෝගීන්ගෙන් වෙන් කොට ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුකරන බවයි වාර්තා කර ඇත්තේ.

මේ අතර කොරෝනෝ වෛරසය වැළදුණු බව කියන තවත් රෝගියෙක් ඉකුත් සතියේදී තායිලන්තයෙන් වාර්තා වූ අතර මෙම රෝගය ලොව පුරා ව්‍යාප්තවීමේ අවධානමක් ඇති බවට සැකපළ කෙරුණේ එතැන් සිටය.