Thursday, May 2, 2024

General line - 0115112241

කොරෝනා ආසාදනය වූ  බවට සැකපිට තවත් දෙදෙනෙකු පොළොන්නරුවෙන් IDH රෝහලට




කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අයි ඞී එච් රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ඒ, පොළොන්නරුව මහ රෝහලේ සිටයි. එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ එම පුද්ගලයින් දෙදෙනා කඩවත සහ හෝමාගම ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

කඩවත පදිංචි 43 හැවිරිදි පුද්ගලයා ඉතාලියේ සිට ඊයේ දිවයිනට පැමිණි අතර ඔහු පොළොන්නරුව, කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානය වෙත යොමු කළ අයෙකු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු අද අළුයම පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අයි ඞී එච් රෝහල වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. 

කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක පිට රෝහල්ගත කළ අනෙක් පුද්ගලයා හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු ඉතාලියේ සිට පැමිණ ඇත්තේ ඉකුත් මාර්තු මස 6 වනදායි. ඔහුට නිරෝධායනයට එක්වන ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබුණද ඔහු ඊට එක්නොවී නුවරඑළිය, කොළඹ, කතරගම සහ සෝමාවතිය යන ප‍්‍රදේශවල සංචාරය කර තිබෙනවා. සෝමාවතිය ප‍්‍රදේශයේදී එම පුද්ගලයාට ශ්වසන ආබාධ ඇතුළු රෝග ලක්‍ෂණ කිහිපයක් මතුවීමත් සමග ඔහු ප‍්‍රතිකාර සදහා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කෙරුණා. 

පසුව එම පුද්ගලයාද වැඩිදුර ප‍්‍රතිකාර සදහා අයි ඞී එච් රෝහල වෙත මාරු කෙරුණු බවයි පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

මේ අතර කොරෝනා වෛරසය බහුලව ව්‍යාප්ත වූ රටවලින් දිවයිනට පැමිණ සිටින පුද්ගලයින්වේ නම් සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබද දැඩි අවධානයකින් පසුවන ලෙස සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර.