Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය මානව සංහතියටම තර්ජනයක් - එක්සත් ජාතීන්ගේ සංවිධානය




කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මානව සංහතියටම තර්ජනයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටර්ස් පවසනවා. ඒ අනුව මානව ප‍්‍රජාව එකට එක්ව එම වෛරසයට එරෙහිව සටන් කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

මේ අතර දුගී රටවල් කොරෝනා වසංගතයෙන් මුදා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් අමෙරිකානු ඩොලර් බිලියන 02ක මානුෂීය ආධාරයක් ද ඉල්ලා සිටිනවා. ඒ, අමෙරිකාව, චීනය, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංශය, ජර්මනිය වැනි ලෝක බලවතුන් මෙන්ම ඉතාලිය, ස්පාඤ්ඤය වැනි යුරොපයේ ධනවත් රටවල් ද නව කොරෝනා වෛරසය පැතිරීම නිසා බලවත් අර්බුධයකට මුහුණ පා සිටින පසුබිමක් තුළයි. 

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග අමෙරිකාව දැඩි අර්බුදයකට මුහුණ පා තිබෙනවා.

එරට සෞඛ්‍ය අංශ අනාවරණ කරන්නේ රෝහල් වල පවතින පහසුකම්වලට ඔරොත්තු නොදෙන අයුරින් මේ වනවිට රෝගීන් වාර්තා වන බවයි. ඒ අතරින් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ප‍්‍රධාන වනවා. ඒ අනුව අමෙරිකාවට ද ඉතා ඉක්මනින් ඉතාලියට අත්වු ඉරණම අත්වනු ඇති බවයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.  

නව කොරෝනා වෛරසය බි‍්‍රතාන්‍යයේ බන්ධනාගාර කිහිපයක් තුළද පැතිර ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ පළමුවරට නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් එරට බන්ධනාගාර රැඳවියෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.