Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා වැළදුණු වෛද්‍යවරයා ගෙන් ප්‍රතිකාර ගත් රෝගීන් 900ක් නිරෝධායනයට




කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් 900 කට ආසන්න පිරිසකට ස්වයං නිරෝධායනය වන ලෙසට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබෙනවා.

ඉන්දියාවේ, දිල්ලි හි පිහිටි රජයේ රෝහලක වෛද්‍ය සයනයක සේවය කරමින් සිටි මෙම වෛද්‍යවරයාට කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඊයේ දිනයේදී තහවුරු වී ඇත.

එම වෛද්‍යවරයාගේ බිරිඳ සහ දියණියටද කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි මේ වන විට විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ.

සෞදි අරාබියේ සිට පැමිණි වෛරසය ආසාධනය වූ කාන්තාවක් තමන් ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි බවත් ඇයගෙන් තමන්ටද වෛරසය බෝවන්නට ඇති බවයි වෛද්‍යවරයා සඳහන් කර සිටියේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයකදී එම කාන්තාව සමග සමීපව ඇසුරු කළ තවත් පුද්ගලයින් පස් දෙනෙක්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව එම කාන්තාව ජිවත් වූ ප්‍රදේශය සහ අනෙක් රෝගීන් පස් දෙනාගේ නිවෙස්වල පුද්ගලයින් ඇතුළු විශාල පිරිසකට මේ හේතුවෙන් ස්වයං නිරෝධායනය වන ලෙස බලධාරින් උපදෙස් ලබාදී ඇත.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා වෛරසය වැළදීමෙන් පුද්ගලයින් 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර වාර්තා වන රෝගීන් ගණන 606 ක් වනවා.