Sunday, May 5, 2024

General line - 0115112241

නිව්යෝර්ක් නගරය මීළග ඉතාලිය විය හැකි බවට අනතුරු ඇඟවීම්




ඉන්දියාව තුළ කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සීග‍්‍ර වැඩිවීමක් වාර්තා වනවා. ඉන්දියාව දින 21 කට වසා දමා ඇති පසුබිමක මෙලෙස රෝගීන් වාර්තාවී තිබීම විශේෂත්වයක්. ගත වූ පැය 24 තුළ පමණක් රෝගීන් 75 දෙනෙකු ඉන්දියාවෙන් වාර්තා වනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව මෙය බවයි. ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් රෝගීන් 733 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 20 ක්.

මේ අතර විදේශිකයින්ට සිය රටට ඇතුළුවීම හෙට (28) සිට තහනම් කිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ අනුව නිදහස් වීසා පහසුකමද අත්හිටුවීමටයි චීනය තීරණය කර ඇත්තේ. ඒ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්. චීනයෙන් අලූතින් රෝගීන් වාර්තා නොවුනත් ඉකුත් දිනවල චීනයට පැමිණි විදේශිකයින් රෝගයට ගොදුරු වී තිබු බව තහවුරු කර ගැණුනා.

ඊයේ දිනයේ පමණක් චීනයෙන් අලූතින් රෝගීන් 55 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 54 දෙනෙකුම විදේශිකයින්. කොරෝනා වැළදී තිබියදී විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 595 දෙනෙකු ඉකුත් කාලයේදී චීනය විසින් හදුනා ගනු ලැබුවා.

මේ අතර  ඕස්ටේ‍්‍රලියාවද තීරණය කර ඇත්තේ විදේශයන්හි සිට තම රටට පැමිණි සියළු රට වැසියන් දින 14 ක ස්වයං නිරෝධායනයකට ලක් කිරිමටයි. සතියක් තුළ කොරෝනා රෝගීන් 700 සිට 3,000 ක් දක්වා ඉහළ යාම මෙම තීරණයට හේතුවයි. 

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සදහා සති තුනක කාලයකට දකුණු අපි‍්‍රකාවද සම්පූර්ණයෙන්ම වසා දැමීමට තීරණය කර තිබෙනවා. කෙසේවෙතත් ආහාර වෙළද සැල් විවෘත කෙරෙන අතර මත්පැන් අළෙවිහල් වසා දැමීමටයි තීරණය කර ඇත්තේ. ව්‍යායාම් සදහා ඇවිදීම සහ සුනඛයින් සමග ගමන් කිරීමද තහනම් කර තිබෙනවා.

රුසියාව ද ජාත්‍යන්තර ගුවන් ගමන් සියල්ල අත්හිටුවා ඇත්තේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්. 

මේ වනවිට කොරෝනා ව්‍යාප්තියේ ලෝක කේන්‍ද්‍රස්ථානය බවට පත්ව ඇති අමෙරිකාවේ නගර රැසක කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවදානම් අතට හැරී තිබෙනවා. නිව්යෝර්ක් නගරය මීළග ඉතාලිය බවට පත්විය හැකි බවටයි ඇතැම් පාර්ශව අනතුරු අගවා ඇත්තේ.

අමෙරිකාවෙන් වාර්තා වන නව කොරෝනා රෝගීන් ගණන අද (27) උදෑසන වනවිට චීනයද අභිබවා ගියා. කොරෝනා බලපෑම හේතුවෙන් අමෙරිකානු නාවික හමුදාවට අයත් ප‍්‍රහාරක ගුවන් යානා සහිත නෞකාවක සිටින සෙබළුන් පන් දහසක් නිරෝ්ධායනයට ලක් කිරීමටයි තීරණය කර ඇත්තේ. 

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ලෝක ජනගහණයෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් කොරෝනා වෛරසයේ බලපෑමට නතුවෙමින් ඇති බවයි. ව්‍යාපාර අහිමි වූවන් මිලියන ගණනක් ද ඒ අතරට අයත්. ඉකුත් සතියක කාලය තුළ අමෙරිකාවේ පමණක් ලක්‍ෂ 33 කට රැකියා අහිමි වී තිබෙනවා.