Thursday, May 2, 2024

General line - 0115112241

වසර 90කට පසුව ගෝලීය ආර්ථිකය දරුණු අවපාතයකට : මිලියන 500ක් දුගී භාවයට පත්වෙතැයි අනතුරු අඟවයි




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේ ගෝලීය ආරථික වර්ධන වේගය ඉතා පහළ මට්ටමකට ඇද වැටෙනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවා සිටිනවා.

1930 වර්ෂයේදී මුහුණ දුන් ගෝලීය ආර්ථික අවපාතයෙන් පසුව මුහුණ දෙන විශාලතම ආර්ථික අවපාතය මෙය බවයි IMF ප්‍රධානි Kristalina Georgieva සඳහන් කර සිටින්නේ.

එළඹෙන 2021 වර්ෂයේදී ද ගෝලීය ආර්ථිකයේ අර්ධ වශයෙන් නැගී සිටීමක් ඇති වනු ඇති බව ඇය අනුමාන කර සිටිනවා.

ඇතිවී තිබෙන වසංගත තත්ත්වය හමුවේ ලොවපුරා පිහිටි සමාගම් සිය සේවා ස්ථාන මේ වන විට වසා දමා තිබෙනවා.

ඉකුත් සතියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකළ සංගණනයක් අනුව හෙළිව ඇත්තේ ලොව පුරා ශ්‍රම බලකායෙන් සීයයට 81ක් එනම් බිලියන 3.3 ක ගේ සේවා ස්ථාන මේ වන විට සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා ඇති බවයි.

IMF ප්‍රධානියා සඳහන් කර සිටියේ දියුණු වෙමින් පවතින රටවල් මෙම ආර්ථික අවපාතයෙන් දැඩිව පිඩාවට පත්ව ඇති බවයි. එම රටවල් සඳහා ඩොලර් බිලියන ගණනක විදේශ ආධාර ලබා දීමට සිදුවෙනූ ඇති බව ඇය සඳහන් කර සිටියා.

මේ අතර වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවන ආර්ථික කඩා වැටීම හේතුවෙන් ලොව පුරා මිලියන 500 කට අධික ජනතාවක් දරිද්‍රතාවයට පත්වෙනු ඇති බව ඔක්ස්ෆෑම් සංවිධානය අනතුරු අඟවා සිටිනවා.