Wednesday, May 1, 2024

General line - 0115112241

ගුවන් යානා අලුත්වැඩියා කිරීමට යුක්‍රේන ඉංජිනේරුවන් පිරිසක් එයි

ටී කේ ජී කපිල




ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා අලුත්වැඩියා කිරීම සඳහා යූක්‍රේන ජාතික ගුවන් යානා ඉංජිනේරුවරුන් 06 දෙනෙකු අද (08) දින අලුයම යුක්‍රේනයට අයත් විශේෂ ගුවන් යානයකින් යූක්‍රේනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඉංජිනේරුවරුන් පමණක් මෙම ගුවන් යානයේ පැමිණ තිබූ අතර ඔවුන් යූක්‍රේනයේ කියෙව් නුවර සිට පැමිණි PQ-5903 දරන යූක්‍රේනයට අයත් ස්කයි අප් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද  අලුයම 4.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව් , ඒ.එන්.- 32 වර්ගයේ ගුවන් යානා 03 ක ජීවන කාළය අවසන් වී ඇති අතර, එම ගුවන් යානා පරීක්ෂා කර බලා  යූක්‍රේනය වෙත රැගෙන ගොස් සම්පූර්ණ අලුත්වැඩියා කිරීමක් සඳහා නිර්දේශ කිරීමට මෙම ගුවන් යානා නිපද වූ (Antonov Disign Biuro), ආයතනයේ ඉංජිනේරුවරුන් මෙසේ පැමිණි බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසුවේ.

මෙම ඉංජිනේරුවරුන් එරට දී ද නිරෝධායනයට  ලක් වී ඒ පිළිබඳව සහතික ද රැගෙන පැමිණ තිබූ අතර ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව යළිත් මෙරට නිරෝධායන කටයුතු සදහා මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලය වෙත යොමු කළ බවද ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මෙම නිරෝධායන කටයුතු නිමා වීමෙන් පසුව මෙම ඉංජිනේරුවරුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ඇන්ටොනෝව් ගුවන් යානා පරීක්ෂා කිරීම සිදු කරන අතර පසුව ඔවුන්ගේ නිර්දේශ මත ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් විසින් මෙම ගුවන් යානා 03 සම්පූර්ණ අලුත්වැඩියා කටයුතු සදහා යූක්‍රේනය වෙත රැගෙන යෑම සිදු කරන බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර මෙම ගුවන් යානා ඉංජිනේරුවරුන් රැගෙන පැමිණි යූක්‍රේනයේ ස්කයි අප් ගුවන් සේවයේ අදාළ ගුවන් යානයෙන් කොරෝනා තත්ත්වය මත යුක්‍රේනය වෙත යෑමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටින යූක්‍රේන ජාතිකයන් 116 දෙනෙකු ද රැගෙන අද  අලුයම 5.15 ට කටුනායක ගුවන් තොටුපළෙන් යූක්‍රේනයේ කියෙව් නුවර බලා පිටත්ව ගියා.