Tuesday, April 30, 2024

General line - 0115112241

ලබන සදුදා සිට රට විවෘත කිරීමට නව උපදෙස් මාලාවක්




ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුවද ලබන සදුදා (11) සිට බස්නාහිර පළාතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට අදාළ කටයුතු රජය මේ වනවිට සූදානම් කරමින් සිටිනවා.

දිවයින පුරා මේ වනවිට කි‍්‍රයාත්මක ඇදිරි නීතිය ලබන සදුදා අළුයම 5.00 ට ලිහිල් කෙරෙනවා. කෙසේවෙතත් ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුවද බස්නාහිර පළාතේ කටයුතු ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීමටයි අවධානය යොමුවී ඇත්තේ. 

ඒ අනුව ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට ද නියමිතයි. ඒ, නිරෝධායන රෙගුලාසි ඇතුළත් කරමින්.

පොදු ප‍්‍රවාහන සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන මෙන්ම පොදු ස්ථාන සහ වෙළද සැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද එහිදී රෙගුලාසි නිකුත් කරනු ඇති.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනද පවත්වාගෙන යායුතු ආකාරය පිළිබද එහිදී පැහැදිලි කිරීමක් සිදු කිරීමටයි රජය අපේක්‍ෂා කරන්නේ. පෞද්ගලික අංශයේ ආයතන පෙරවරු 10.00 ට විවෘත කළ යුතු බවට දැනටමත් දැනුම් දී අවසන්. සේවයට කැඳවන සේවක සංඛ්‍යාව තීරණය කිරීම ආයතන ප‍්‍රධානීන්ට පවරා තිබෙනවා. අදාළ රෙගුලාසි ඇතුළත් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා කිහිපයක් ඉදිරි දිනවල පැවැත්වීමටද නියමිතයි.

පොලිස් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ අදාළ ආයතනවලට කැදවන පුද්ගලයින්ට ගැටළුවකින් තොරව සේවා ස්ථාන සදහා පැමිණිය හැකි බවයි. කෙසේවෙතත් සෙසු පුද්ගලයින් නිවසින් බැහැර විය යුත්තේ ආහාර හෝ ඖෂධ ලබාගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුත්තකට පමණයි.

ඒ සදහාද අවසර ලැබෙන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංක පාදක කර ගනිමින් කි‍්‍රයාත්මක ක‍්‍රමවේදයට අනුව බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ. ලබන සදුදා සිට රට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු නිසි නීතිමය රාමුවක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.

මේ අතර ලබන සදුදා සිට සේවා සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් අවශ්‍ය ප‍්‍රවාහන පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙලක් සකස් කරමින් තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ පොදු ප‍්‍රවාහන සේවා කි‍්‍රයාත්මක කිරීමේදී රියදුරා සහ සහයකයා මෙන්ම අදාළ ආයතන ද පිළිපැදිය යුතු රෙගුලාසි ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කරන බවයි.