Sunday, April 28, 2024

General line - 0115112241

නිශ්ශංක සේනාධිපති සහ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහි අල්ලස් කොමිසම පැවරු නඩුවට අතුරු තහනම් නියෝගයක්

අධිකරණ වාර්තාකරු




ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලන්කා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසන් සභාව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩු කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ  නිශ්ශංකසේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් වල නියෝගය ප්‍රකාශයට පත් කරමිනි.

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තුරු බලපැවැත්වෙනු ඇති.

ඒ අනුව ප්‍රතිශෝධන පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණයේ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය සහ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය නියෝග කළා.

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබා දීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලන්කා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත. 

මෙම නඩුව අල්ලස් කොමිසන් සභාවේ සාමජිකයන්ගෙ ලිඛිත අනුමැතියකින් තොරව කොමිෂන් සභාවේ අධ්‍යක්ෂකවරයා විසින් පවරා ඇති බවට පවසමින් එම නඩුව පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව පවසා විත්ති පාර්ශ්වය මූලික විරෝධතා කොළඹ මහාධිකරණයේ ඉදිරිපත් කරන ලදී.

මෙම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් නඩුව විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය පසුගිය මාර්තු මස 11 දින නියෝගයක් නිකුත්කර තිබුණා.

එම නියෝගය අභියෝගයට ලක්කරමින් නිශ්ශංක සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දු මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබුණා.

අධි චෝදනා 47 ක් යටතේ ඇවන්ට් ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රජයේ නිලධාරියකු ලෙසට කටයුතු කළ රක්නා ලන්කා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව කොළඹ මහාධිකරනයේ නඩු පවරා ඇත.