Tuesday, April 30, 2024

General line - 0115112241

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ ගිණුම් කාරක සභාව සඳහා දේශපාලන පක්ෂවලින් නාම යෝජනා කැඳවයි




පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ ගිණුම් කාරක සභාව ඇතුළු විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවලින් නාම යෝජනා කැඳවීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ, එම කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් අද පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීයි.

එහිදී විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා සඳහා සාමාජිකයන් පත්කිරිමේදි සංයුතිය සකස්විය යුතු ආකාරය සම්බන්ධයෙන් ද  දීර්ඝ ලෙස සාකච්ජා කර තිබෙනවා. දේශපාලන පක්ෂ වලින් ලැබෙන නාම යෝජනා අනුව ලබන පාර්ලිමේන්තු රැස්වීමේදී කමිටු සඳහා මන්ත‍්‍රීවරු නම් කිරීමද තීරණය වුණා. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සහ රජයේ ගිණුම් කාරක සභාවේ සභාපතිධුර විපක්ෂයට ලබාදෙන ලෙසයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂමන් කිරිඇල්ල එහිදී ඉල්ලීමක් කර ඇත්තේ.  

අද පස්වරුවේ රැස්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එම සභාව නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, ප‍්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සහ  ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, විජිත හේරත්, සහ සෙල්වම් අඩෙයික්කලනාදන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සහභාගී වුණා. 

ඊට අමතරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක, සහකාර මහ ලේකම් කුෂානි රෝහණධීර සහ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක ද අද පස්වරුවේ පැවැති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා රැස්වීමට සහභාගී වී තිබෙනවා.