Saturday, April 27, 2024

General line - 0115112241

කුලියාපිටිය බන්ධනාගාරයේ වහලය කඩා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිවුදෙනෙකු පැනයයි - අපරාධකරුවන් සොයා පොලිස් මෙහෙයුම් ඇරඹේ




හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් සිව් දෙනෙකු පැනගොස් තිබෙනවා. 

ඊයේ පස්වරුවේ ඔවුන් සිර මැදිරියේ වහලය කඩා පැනගොස් ඇති බවයි කුලියාපිටිය පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් සිව්දෙනා කබුරපොල, ගල්පොල,  නාරංගොඩ හා අලහිටියාව ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන කි‍්‍රයාත්මකයි. 

මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ පිවිසුම් දොරටුව අසළදී සිරකරුවෙකු සඟවාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය මිලිග‍්‍රෑම් 200 ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. 

අධිකරණ කටයුත්තකට රැගෙන ගොස් ආපසු රැගෙන ආ අදාළ සිරකරුවා, සිය සෙරෙප්පුවක ඉදිරිපස පටි රඳවනයේ එම මත්ද්‍රව්‍ය සඟවාගෙන සිටි බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාර බුද්ධි ඒකකය වෙත භාර දුන් බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර, වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ‘වයි‘ වාට්ටුවේ  සිදුකළ හදිසි වැටලීමකදී තහනම් භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා. ජංගම දුරකතන 13 ක්, සිම් කාඞ් 7 ක් සහ බැටරි 150 ක් එහිදී සොයාගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් එම වැටලීම සිදුකර තිබෙනවා.