Saturday, April 27, 2024

General line - 0115112241

එල් ටී ටී ඊ සැමරුමක් සංවිධාන කළ පූජකවරයෙකු අත්අඩංගුවට




යාපනය ආගමික ස්ථානයක හිටපු එල් ටී ටී ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන් රුව සහිතව සැමරුමක් සංවිධාන කළ පූජකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අදාල පූජකවරයා තවත් පිරිසක් එක් කර ගනිමින් එම සැමරීම සිදු කිරීමට සැළසුම් කර තිබූ බවයි.

එවැනි සැමරුම් සිදු කිරීමට කිසිවිටකත් ඉඩ ලබා නොදෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

අන්තර් ජාලය හරහා එල් ටී ටී ඊ මහවිරු සැමරුම් ප‍්‍රවර්ධනය කළ පුද්ගලයන් 4 දෙනෙකු එරාවූර් ප‍්‍රදේශයේ ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැණුනා. පොලිසිය පැවසුවේ එල් ටී ටී ඊ සංවිධානය මෙහෙය වූ වේලූපිල්ලේ ප‍්‍රභාකරන් පිළිබද වීරත්වයෙන් සහ මියගිය ත‍්‍රස්තවාදීන් සැමරීම සම්බන්ධයෙන් මුහුණ පොත හරහා එම පුද්ගලයන් විවිධ අදහස් පළ කර තිබූ බවයි.

මේ අතර උතුරු නැගෙනහිර පළාත් තුළ සාමුහික වශයෙන් එක්ව මහවිරු සැමරුම් සිදු නොකරන ලෙසට අධිකරණ නියෝග පනවා තිබීම හේතුවෙන් උතුරේ ජනතාව සිය නිවෙස් තුළ පහන් දල්වා ඊයේ පස්වරුවේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ වැඩසටහන්  පවත්වා තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ශිවඥානම් ශ්රීමධරන්, මාවෙයි සේනාධිරාජා, චාර්ල්ස් නිර්මලනාදන් හා දෙමළ ජාතික ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර  සි.වි.විග්නේශ්වරන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක්ද සිය නිවෙස්වල පහන් දල්වා ඇති බවයි.

උතුරේ ඇතැම් ජනතාව ප‍්‍රකාශ කර ඇත්තේ තමන් පහන් දැල්වීම සිදුකළේතම ආගමික වැඩසටහනක් වන කාර්තිකෙයි දීපන් නමැති වැඩසටහන වෙනුවෙන් වන බවයි.

කෙසේවෙතත් අධිකරණ නියෝග මත මහවිරු සැමරුම් වළක්වා ඇති බැවින් නිවෙස් තුළට වි 27 වැනිදා සවස 6.05 ට පහන් දල්වා යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කරන ලෙසට දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඉකුත්දා ඒකාබද්ධ නිවේදනයක්ද උතුරේ ජනතාවට නිකුත් කර තිබුණා.

එල් ටි ටි සංවිධානය කි‍්‍රයාකාරීව පැවැති සමයේ නොවැම්බර් 21 වැනිදා සිට නොවැම්බර් 27 වැනිදා දක්වා මහවිරු සතිය සැමරීම සිදුකළ අතර, නොවැම්බර් 27 වැනිදා උතුරේ මහවිරු සොහොන් අභියස මහවිරු සැමරුම් වැඩසටහන් මහත් උත්කර්ශවත් ආකාරයෙන් සිදු කළා.
මාධව කුලසූරිය