Sunday, May 5, 2024

General line - 0115112241

යුක්රේන ජාතිකයන් යාල රැගෙන ගිය ජීප් රථ රියදුරන් ගැටළුවක




නියමු ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණි යුක්රේන ජාතිකයන් පිරිසක් යාල වනෝසානයේ සංචාරයට රැගෙන ගිය ජීප් රථ 27 ක රියදුරන් පිරිස නිරෝධායනයට යොමු කිරීමට බලධාරීන් සූදානම් වනවා. ජිප්රථ රියදුරන් නිරෝධායනයට යොමුකරන බව බලධාරීන් කල් තියා දැනුවත් නොකළ බවයි යුක්රේන ජාතිකයන් රැගෙන ගිය ජීප් රථ රියදුරෙකු වන අනුර පි‍්‍රයංග නෙත් නිවුස් වෙත කියාසිටියේ.

සිය නිවෙස් තුළ නිරෝධානයවීමට අවස්ථාව සලසා දෙන ලෙසට එම ජීප් රථ රියදුරන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළා.

පෙර දැනුම්දීමකින් තොරව එම ජීප් රථ රියදුරන් නිරෝධායනයට යොමු කිරීමට ගෙන ඇති තීරණය පිළිබද තිස්ස සෞඛ්‍ය වෛස නිලධාරී වෛස ප‍්‍රභාත් ලියනාරච්චිගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එම විදේශිකයන් පිරිස යාල වනෝද්‍යානයේ සංචාරයක නිරත වන බවට කිසිදු බලධාරියෙක් හෝ ඊට අදාළ කිසිදු ආයතනයක් තමන්ව දැනුවත් කර නොතිබූ බවත් ජීප් රථ රියදුරන් නිරෝධායනයට යොමු කිරීමට තමන් කටයුතු නොකළ බවත් ඔහු කියාසිටියා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චිගෙන්ද විමසීමක් කළා. යුක්රේන ජාතිකයන් සමග සම්බන්ධ වන සියලූ පාර්ශව නිරෝධායනය කළයුතු බවට කල්තියා තීරණය කළ බවත් ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවත් ලේකම්වරයා කියාසිටියා.

එහෙත් එම සංචාරකයන් සමග සම්බන්ධ වන ශී‍්‍ර ලාංකිකයන්ට ඒ පිළිබද කල් තියා දැනුම් දෙන ලෙසටද බලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබූ බවයි ඔහු සදහන් කළේ. කෙසේවෙතත් මේ පිළිබදව යාල ජීප් රථ රියදුරන් කල් ඇතිව දැනුවත් නොකිරීම පිළිබදව තමන් සොයා බලන බවයි සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි වැඩිදුරටත් කියාසිටියේ.