Sunday, April 28, 2024

General line - 0115112241

එජාපයේ සභාපති තනතුර වජිරට හිමිවෙයි : මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර 




එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පත් කිරීම් සිදුකර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පත් කර ඇති අතර උප නායක ලෙස හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කොට තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර පත්කොට ඇති අතර භාණ්ඩාගාරික ලෙස ඒ.එස්.එම්. මිස්බා තේරී පත්ව තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති තනතුරට තේරී පත්වූ අමාත්‍ය වජිර අබේවර්ධන 1982 වර්ෂයේ මොරටුව විශ්ව විද්‍යාලයේ එක්සත් ජාතික පක්ෂ එක්සත් සමවාදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය දරමින් සිය දේශපාලන ගමනට අත්පොත් තබන ලදී.

1983 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂ එක්සත් සමවාදී ශිෂ්‍ය සංගමය, 1983- 1995 අතර කාලයේදී එක්සත් ජාතික පක්ෂ තරුණ පෙරමුණේ කෘත්‍යාධිකාරී සාමාජික, 1984 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂ පක්ෂ සමවාදී ශිෂ්‍ය සංගමයේ ලේකම් තනතුරට තේරී පත්වීම, 1984 - 1985 එක්සත් ජාතික පක්ෂ එක්සත් සමවාදී ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරට තේරී පත්වීම සහ එම කාල සීමාවේදීම මොරටුව විශ්ව විද්‍යාලයේ එක්සත් ජාතික පක්ෂ ශිෂ්‍ය සම්බන්ධීකරණ නිළධාරී ලෙස වජිර අබේවර්ධන තේරී පත්වුයේ ඔහුගේ පැවති නායකත්ව ගුණාංග ගැන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඉඟියක් ලබාදෙමින්ය.

1987 - 1989 කාල සීමාවේදී එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල ආසනයේ සම  ප්‍රධාන සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක එවකට ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් වජිර අබේව්ර්ධන පත් කරන ලද අතර ඉන් පසුව 1993 - 1995  යන කාල සීමාවේදී එක්සත් ජාතික පක්ෂයේ සහකාර ලේකම් ලෙස එක්සත් ජාතික පක්ෂයේ එවකට නායකව සිටි ඩී.බී.විජේතුංග මහතා විසින්  පත් කරන ලදී.

1988 සහ 1991 වර්ෂ වලදී එක්සත් ජාතික පක්ෂ  දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වන ඔහු 1994 වර්ෂයේ දී පළමු වරට ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට තරුණ දේශපාලකයෙකු ලෙස දියවන්නාවට තේරි පත් විය

ඉන් පසුව 2000, 2001 සහ 2004 වර්ෂවල පැවැත්වෙන මහ මැතිවරණයෙන් පිට පිටම ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමටද වජිර අබේවර්ධන සමත්වනවා. එමෙන්ම 2000 වර්ෂයේ දී පක්ෂයේ සභාපති ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පත් කරනු ලබනවා.

2015 වසරේ පැවති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු යලිත් පාර්ලිමේන්තු වරම් හිමිකර ගනු ලැබූ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබු සෑම මැතිවරණයකදීම ඔහු මනාප ලක්ෂයකට වඩා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීම සුවිශේෂී කරුණක් වනවා.
    
1992 වසරේ සිට මේ දක්වා වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩලයට එක්සත් ජාතික පක්ෂයේ හිටපු සෑම නායකයෙකු විසින්ම නොකඩවා පත් කරන ලදී.
                        
2001 - 2004 ආණ්ඩුව සමයේ දී රාජ්‍ය පරිපාලන, කළමණාකරන සහ ප්‍රතිසංස්කරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස තරුණ මන්ත්‍රීවරයෙකුව සිටි වජිර අබේවර්ධන මහතාව පත් කරනු ලැබූවා.

2015 වර්ෂයේ පත්වූ නව ආණ්ඩුවේ ස්වදේශ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස ද 2018 වර්ෂයේ දින 52 අන්තර් ආණ්ඩු පෙරළියෙන් පසු තෝරා පත් වූ නව කැබිනට් මණ්ඩලයේ අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍යවරයාද වූයේ වජිර අබේවර්ධන මහතායි.
            
වසර 38 කට ආසන්න කාලයක් එක්සත්  ජාතික පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ දේශපාලඥයෙකු වන වජිර අබේවර්ධන මහතා පක්ෂයේ සභාපති ලෙස යළිත් අද දිනයේදී පත් කරනු ලැබූවා.