Wednesday, May 1, 2024

General line - 0115112241

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ත්‍රිරෝද සොරකම් කිරීමේ ප්‍රවනතාවයක්




කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ත්‍රිරෝද රථ සොරකම් වැඩි වී තිබෙනවා. ත්‍රීරෝද රථ සංගම් පෙන්වා දෙන්නේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම සොරකම් සිදු කරන බවයි. ග්‍රැන්ඩ්පාස්, මාලිගාවත්ත, මරදාන, දෙමටගොඩ සහ බොරැල්ල යන ප්‍රදේශවල ත්‍රීරෝද  රථ සහ යතුරුපැදි සොරා ගැනීමේ සිද්ධීන් රැසක් ඉකුත් සමයේ වාර්තා වුණා. සොරාගන්නා ලද ත්‍රීරෝද රථ සහ යතුරුපැදිවල කොටස් ගලවා මෙම කණ්ඩායම විසින් අඩු මිලට අළෙවි කරන බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් සදහන් කළේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඉකුත් සමයේ බන්ධනාගාරවලින් නිදහස් කෙරුණු සුළු වැරදි සම්බන්ධ ඇතැම් පුද්ගලයින් මෙම සොරකම්වල නිරත වන බවයි  ඔහු චෝදනා කළේ.


කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසක වැඩි වි ඇති ත්‍රීරෝද රථ සොරකම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් ද නෙත් නිවුස් විමසීමක් කළා. ඔහු කියා සිටියේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් එලෙස ත්‍රීරෝද රථ සොරකම් කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.