Sunday, April 28, 2024

General line - 0115112241

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විශේෂ දැනුම් දීමක් 




ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මව්බිමට රැගෙන යාම සඳහා කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව මුදල් ජාවාරමක නිරතවන බවට තම තානාපති කාර්යාලයට පැමිණිලි ලැබෙන බව ලෙබනන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා. 

මෙලෙස  මුදල් එකතු කරන්නේ තානාපති කාර්යාලය ද එය රජයේ අනුදැනුම මතද යන්න මෙම ජාවාරමට හසුවු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිරන්තරව තානාපති කාර්යාලයෙන් විමසා සිටින බවද එම නිවේදනයේ සඳහන්. 

මේ සම්බන්ධව ශ්‍රී ලාංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර සිටින්නේ ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මව්බිමට රැගෙන යාම සඳහා මුදල් එකතු කිරිමට කිසිම පුද්ගලයකුට හෝ සංවිධානයකට බලය හෝ අවසර ලබා දි නොමැති බවයි. 

එබැවින් මෙවැනි ජාවාරම්කරුවන්ට මුදල් ලබා දිමෙන් වැළකෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දී සිටිනවා. 

මේ අතර ලෙබනන් සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා ගොඩබැස්සවීමේ අවසරය අවශ්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගුවන් සමාගම් වෙත දැනුම්දී තිබියදී, ඇතැම් ගුවන් ටිකට්පත් නියෝජිතයින් විසින් මගින්ට ගුවන් ටිකට්පත් අලෙවිකරණ බවටද තානාපති කාර්යාලය නිවේදනය කරනවා. 

මේ අතර බීරූට් ගුවන් තොටුපල මගින්ට සීමා කර ඇති අතර, ගුවන් යානා අසුන් ගැනීම් පත්‍ර (Boarding Pass) නිකුත් නොකරන බවද එම  නිවේදනයේ සඳහන්. 

මේ හේතුවෙන්  ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය නොමැතිව ගුවන් යානා ගොඩබැස්සවීමට නොහැකි වන අතර, ගුවන් යානා ගොඩබැස්සවීම සඳහා අවසරය අවශ්‍ය බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙනවා.