Tuesday, April 30, 2024

General line - 0115112241

රාජිත සහ චතුරගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පැය පහක් ප්‍රකාශ ගනී




පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරාත්න සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද දිනයේ පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්තා. ප්‍රකාශ ලබාදීම සදහා ඔවුන් දෙදෙනාට අද දිනයේ පැමිණෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය මීට පෙර දන්වා තිබුණා. ඒ අනුව අද පෙරවරු 11.10 ට පමණ එහි පැමිණි ඔවුන් දෙදෙනා පැය 5 ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු ඉන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මාධ්‍යවේදී සුජීව ගමගේ පොලීසියට සිදුකළ සාවද්‍ය පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න අද මෙලෙස කැදවා තිබුණා. අදාළ මාධ්‍යවේදියා පොලීසිය හමුවේ පැමිණිල්ල සිදුකිරීමට පෙර චතුර සේනාරත්නගේ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න හමුවී ඇතැයිද පොලීසිය සදහන් කළා. 

තමා සතුව පැවති හඬ පටයක් ලබාගැනීමේ අරමුණින් කිසියම් පිරිසක් පැමිණ පසුගිය 10 වනදා තමන් පැහැරගෙන පිළිස්සුම් තුවාල සිදුකළ බවට මාධ්‍යවේදී සුජීව ගමගේ පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. එය අසත්‍ය පැමිණිල්ලක් බව විමර්ශනවලදි අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ.