Thursday, May 2, 2024

General line - 0115112241

සමාගම් තුනක් ගෙන් වූ පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බවට සනාථ වෙයි - ප්‍රතිඅපනයනය කරන්නැයි රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් උපදෙස්




මෙරටට ආනයනය කළ ඇෆ්ලටොක්සින් නම් පිළිකා කාරකය අඩංගු පොල්තෙල් තොගය වහාම යළි ප්‍රතිඅපනයනය කරන ලෙසට අදාළ සමාගම්වලට දැන්වූ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය පවසනවා. එලෙස මෙරටට ගෙන් වූ පොල්තෙල්වල සාම්පල පරීක්‍ෂා කිරීම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සිදුකළා. එහි දෙවන සාම්පල් පරීක්‍ෂාවෙන්ද තහවුරු වී ඇත්තේ අදාළ පිළිකා කාරකය එම පොල්තෙල්වල අඩංගු බවයි.

ඊට අදාළ අවසන් වාර්තාව අද පෙරවරුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත භාරදෙනු ලැබුවා. ඒ පිළිබද කරුණු දැක්වීම සදහා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය සදහන් කළේ එම පොල්තෙල් තොගය ප්‍රතිඅපනයන කරන ලෙසට අදාළ සමාගම් වෙත දැන් වූ බවයි.

“ඇෆ්ලටොක්සින්“ නමැති පිළිකා කාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කළ පිරිපහදු නොකළ පොල් තෙල් කිලෝග්‍රෑම් එක් ලක්‍ෂ 83,000 ක් අඩංගු බහාලුම් 13 ක් රේගුවෙන් නිදහස් කරගෙන ඇති බවට පාර්ශ්ව කිහිපයක් ඉකුත්දා අනාවරණ කළා. 

අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් එවැනි කටයුත්තක් සිදු නොකළ බවයි. 

සමාගම් තුනෙහි බහලුම් වෙත රේගුවෙන් මුදාහැර ඇති පොල්තෙල් තොග එලෙසම පවතින්නේ දැයි විමර්ශනය කරන බවයි රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙහිදී කියාසිටියේ. එම බහලුම්වල අදාළ පොල්තෙල් තොගයේ අඩුවක් පවතින්නේ නම් එම සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළා.