Wednesday, May 1, 2024

General line - 0115112241

බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 66 ක් ලබා සිටියා.

නොදැවී ක්‍රීඩා කරන නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න ලකුණු 32 බැගින් රැස්කර ගෙන සිටිනවා.

අද තරගයේ දී  ශ්‍රී ලංකාව වෙනුවෙන් දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 156 වන ක්‍රිඩකයායි.

මෙම ටෙස්ට් තරගය සදහා රමේෂ් මෙන්ඩිස්ද ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා තිබෙනවා.

ප්‍රවීන් ජයවික්‍රම සහ රමේෂ් මෙන්ඩිස්  මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා ඇත්තේ ළහිරු කුමාර සහ වනිදු හසරංග වෙනුවටයි. බංග්ලාදේශය වෙනුවෙන් ශොරිෆුල් ඉස්ලාම් ද මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ග්‍රේට්ස් ලෙවන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන  පුහුණු සංචිතවල ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ආධාර පිණිස තරගයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ලබන මැයි මස 04 වනදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම ක්‍රිකට් තරගයෙන් උපයා ගනු ලබන සියළුම මුදල් කොවිඩ් අරමුදලට බැර කෙරෙනු ඇති.

1996 වසරේ  ලෝක ශූරතාව දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද ඇතුළත් ශ්‍රී ලංකා ග්‍රේට්ස් ලෙවන් කණ්ඩායම හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත වනවා.

ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින්ද ඇතුළුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින, නැගී එන සහ සංවර්ධන සංචිත නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගෙන් සමන්විතයි.

විස්සයි-20 තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ලබන මැයි 4 වනදා පස්වරු 7.00 ට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර එය ලොව පුරා සජීවීව විකාශය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සූදානම් කර තිබෙනවා.