Saturday, September 21, 2024

General line - 0115112241

වැට් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද පාර්ලිමේන්තුවට




වැට් බදු සංශෝධිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද (09) දැනුම් දීමට නියමිතයි.

අද රැස්වන කැබිනට් මණ්ඩලයේදී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

ඉකුත් මැයි මස 3 වෙනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි වැට් බද්ද සියයට 11 සිට 15ක් දක්වා වැඩි කිරීමටත් ඒ වන විට වැට් බද්ද අය නොකෙරුණු ක්ෂේත‍්‍ර කිහිපයක් සඳහා ද මින් ඉදිරියට වැට් බද්ද අය කිරීමටත් ආණ්ඩුව මුලින් තීරණය කළා.

ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කියා සිටියේ මෙම වැට් බදු සංශෝධනය ආණ්ඩුව සිදුකර ඇත්තේ පාර්ලිමේන්තුවේ අනුමැතියක් නොමැතිව බවයි.

ඒ අනුව අදාළ වැට් බදු සංශෝධනය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

වැට් බදු සංශෝධිත පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ කරුණු මෙසේ තිබියදීයි.

පසුව එම කෙටුම්පතෙහි නීත්‍යානුකූලභාවය පිළිබඳව ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප‍්‍රශ්න කෙරුණා. කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතව තිබෙන්නේ ඒ සඳහා ලැබුණු ප‍්‍රතිචාරයයි.

මේ අතර වැරදි ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ආණ්ඩුව සූදානම් බවත් ඒ අනුව වැට් බදු සංශෝධිත පනත් කෙටුම්පතට වුවද වෙනස්කම් කිරීමට සලකාබලන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ මෝදර ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් ඊයේ (08) කළ විමසීමකදීයි.

වැට් බදු සංශෝධිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයාමාර්ග තීරණය කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දීමෙන් පසුව බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.