Sunday, May 5, 2024

General line - 0115112241

පූර්ණ වශයෙන් හෝ සියයට 75ක ප්‍රමාණයකින් රට වැසීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්




රට තුළ පවතින කොරෝනා තත්ත්වය හමුවේ පූර්ණ වශයෙන් හෝ සියයට 75ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදු වුවහොත් ඒ සඳහා සූදානම් විය යුතු බව ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවට වාර්තා වනවා. ඒ, අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි.

එම සාකච්ඡාවට අත්‍යාවශය සේවා සපයන ආයතනවල ප්‍රධානීන් කැඳවා තිබුණා. ඉදිරියේදී කිසිසේත් රට තුළ ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොවනු ඇති බවත් සංචරණ සිමා පමණක් සිදු කිරීමට අවස්ථාව ඇති බවයි එහිදී පෙන්වා දී තිබෙනවා. එවන් තත්ත්වයකදි අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ එම ආයතන ප්‍රධානීන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සියලු රාජ්‍ය ආයතනවල ගර්භණී කාන්තාවන් සේවයට කැඳවීම තාවකාලිකව නතර කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ ජේ රත්නසිරි නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි. 

මේ අතර රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට ද අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබාදී තිබෙනවා. ඊට අදාළ නව චක්‍රලේඛයක් හෙට දිනයේ නිකුත් කරන බවද රාජ්‍ය පරිපාල ලේකම්වරයා සදහන් කළා.