Sunday, May 5, 2024

General line - 0115112241

ඉලක්කය හමුවන තුරු ප්‍රහාර නොනවත්වන බවට ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්




ඊශ්‍රායලය හා පලස්තීනය අතර අඛණ්ඩව 10 වන දිනටත් ඊයේ ගැටුම් පැවතුනා. ඒ, දෙපාර්ශවය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව උත්සහ දරමින් සිටින පසුබිමක් තුළයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, අමෙරිකාව හා යුරෝපානු රටවල් කිහිපයක්ම මේවනවිටත් එම කාර්යය සඳහා එක්ව සිටියත්, ඊශ්‍රායලය අඛණ්ඩව ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

ඊයේ දිනයේදී එලෙස ඊශ්‍රායලය දෙසින් එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවක් හමුවේ ගාසා තීරයේ පිහිටි නිවාස සහිත මහල් ගොඩනැගිලි කිහිපයක්ම සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා. එම ප්‍රහාරයත් සමග ඉකුත් දා හටගත් ගැටුම් හමුවේ මේවනවිට ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස 227 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එලෙස මියගිය ගොස් ඇති පිරිසෙන් බහුතරයක් පලස්තීනුවන්. ඒ අතරින් 64 දෙනෙකු ළමුන් වන අතර 38 දෙනෙකු කාන්තාවන්. 

මේ අතර පවතින ගැටුම් සමථයකට පත් කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග ඊයේ දුරකථනය හරහා සාකච්ඡා කර තිබුණා. කෙසේවෙතත් එම සාකච්ඡාවලින් අනතුරුව ඊශ්‍රායලය අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණේ සිය ඉලක්කය වන හමාස් සංවිධානය යටත්වන තුරු ගාසා තීරයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බවයි.