Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දියාවේ කොරෝනා එන්නත් ප්‍රතිපත්තියේ වෙනසක් - සියලු ඉන්දියානුවන්ට නොමිලේ එන්නත්




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හදිසියේ ජාතිය අමතා තිබෙනවා. ඉන්දියාව තුළ ක්‍රියාත්මක කළ කොරෝනා මර්දන එන්නත්කරණ ප්‍රතිපත්තියේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එහිදී ජනතාවට කරුණු පැහැදිළි කළ බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. ඒ අනුව ජුනි 21 සිට වයස අවුරුදු 18 ට වැඩි සියලු පුද්ගලයින් වෙනුවෙන් රජය මැදිහත්වී නොමිලේ කොරෝනා එන්නත් ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා. බලාත්මක කර තිබූ ප්‍රතිපත්තිවල වෙනසක් සිදුකරන බවත් ප්‍රාන්ත මගින් එන්නත් කිරීමේ වැඩසටහන පාලනය කරන බවත් අග්‍රාමාත්‍ය මෝදි ප්‍රකාශ කර තිබෙනවා.

මධ්‍යම රජයේ නව වැඩපිළිවෙල යටතේ දුප්පතුන්, පහළ මධ්‍යම පාන්තිකයින්, මධ්‍යම පාන්තිකයින් හෝ ඉහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන සෑම පුද්ගලයෙකුටම නව ප්‍රතිපත්තිය යටතේ නොමිලේ එන්නත් ලබා දෙනු ඇති බවයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ඒ අනුව නව ප්‍රතිපත්තිය යටතේ සමාගම් විසින් නිපදවන එන්නත්වලින් සියයට 75 ක් ඉන්දීය රජය විසින් විසින් මිලදී ගනු ඇති. පෞද්ගලික රෝහල් මගින් එන්නත්වලින් ඉතිරි සියයට 25 මිලදී ගැනීම අඛණ්ඩව සිදු කිරීමට  නියමිතයි. පෞද්ගලික රෝහල්වලින් එන්නත් ලබා ගැනීමට කැමති පුද්ගලයින්ට නියමිත මුදල ගෙවා  එන්නත් ලබා ගත හැකි වනවා.

කෙසේ වෙතත්, එන්නත් මාත්‍රාවකට සේවා ගාස්තුව ලෙස ඉන්දීය රුපියල් 150 කට වඩා අය කළ නොහැකි බවයි අගමැතිවරයා අවධාරණය කර ඇත්තේ. ඒ අනුව ඉන්දියානු වැසියන්ට ලබාදෙන එන්නත් වලින් සියයට 75 ක් නොමිලේ සැපයෙනු ඇති.
ඉන්දිය රජයේ කොරෝනා එන්නත් ලබාදීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨධිකරණයේ ද දෝෂදර්ශනයට ලක්වුණා. මෙම නව ප්‍රතිපත්ති හඳුන්වාදි ඇත්තේ එම චෝදනා මධ්‍යයේයි.