Sunday, April 28, 2024

General line - 0115112241

ආසියාවෙි රටවල් රැසක ආරක්ෂාව අනතුරේ




ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකානු හමුදා සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීමත් සමග ආසියානු කලාපයේ බොහෝ රටවල ආරක්ෂක ගැටලු රැසක් ඇතිවිය හැකි බව අන්තර්ජාතික ආරක්ෂක විශ්ලේෂකයන් පවසනවා.

හොංකොං පෝස්ට් පුවත්පත වාර්තා කරන්නේ දැනට බරපතල ආරක්ෂක ගැටලු පවතින පකිස්තානය, මධ්‍යම ආසියාවෙි රටවල් ආදියට අමතරව චීනය වැනි රටවලට පවා මෙහිදී දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි.

මේ වනවිට චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ සුලුතර මුස්ලිම්වරැන්ගේ අයිතීන් පදනම් කරගෙන පවතින විවිධ ගැටලුවලට  බාහිර ත්‍රස්තවාදී කණ්ඩායම් මැදිහත්වීමේ අනතුරක් පවා මතුව ඇති බවද අදාළ පුවත්පත් වාර්තාවේ දැක්වෙනවා.

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමෙන් පසු එහි සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමට ද චීනයේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේවෙතත්,එම ව්‍යාපෘතිවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටලු මතුවිය හැකි බවයි කලාපීය ආරක්ෂක වි⁣ශ්ලේෂකයන් සදහන් කරන්නේ.

මේ අතර ඇෆ්ගනිස්තානයේ සිටින චීන ජාතිකයන්ට ආරක්ෂක පියවර අනුගමනය කරමින් වහාම එරටින් ඉවත් වන ලෙසට කාබුල්හි පිහිටි චීන තානාපති කාර්යාලය දැනුම්දීමක් කර තිබෙනවා.

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීම මේ වනවිට සිදුවෙමින් ඇති අතර සැප්තැම්බර් මස 11 වනදා වන විට එම හමුදා මුලුමනින්ම එරටින් ඉවත් කර ගැනීමට නියමිතයි.

එම පසුබිම හමුවේ ඇෆ්ගනිස්තානයේ ගැටුම් උග්‍රවී ඇති අතර දැනටමත් දිස්ත්‍රික්ක 50 ක බලය තලේබාන් සංවිධානය විසින් අල්ලාගෙන ඇති බව සදහන්.

මතුවිය හැකි ආරක්ෂක ගැටලු පිළිබද ඇෆ්ගනිස්තානයේ අසල්වැසියන් වන ඉරානය සහ පකිස්තාන දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවද වාර්තා වනවා.