Thursday, May 2, 2024

General line - 0115112241

මුඛය හරහා ලබා දෙන ලොව පළමු කොවිඩ් එන්නතේ සායනික පරීක්ෂණ ඇරඹීමට සියල්ල සුදානම් 




කොවිඩ් -19 වෛරසය සඳහා මුඛය හරහා ලබා දෙනු ලබන එන්නතක් සම්බන්ධයෙන් ලොව පළමු වරට සායනික පරීක්ෂණ ආරම්භ කිරීමට ඊශ්‍රායෙල් සමාගමක් සුදානම් වෙමින් සිටිනවා.

ජෙරුසලෙම් හි පිහිටි Oramed Pharmaceuticals අනුබද්ධිත සමාගමක් වන Oravax Medical විසින් ඊශ්‍රායෙල් අගනුවර වන ටෙල් අවිව් හි පිහිටි Sourasky වෛද්‍ය මධ්‍යස්ථානයේදී මෙම පරීක්ෂණය සිදුකිරීමට බලාපොරොත්තු වන අතර මේ සඳහා එම වෛද්‍ය මධ්‍යස්ථානය සිය කැමැත්ත මේ වන විටත් ප්‍රකාශ කර ඇත.

කෙසේ වුවත් එම සමාගමට ඊශ්‍රායෙල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට තවත් සති කිහිපයක් බලා සිටීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කොවිඩ් වෛරසය සඳහා ලබා දෙන එන්නතට සාපේක්ෂව මුඛය හරහා ලබා දෙන මෙම නව එන්නත වේගවත්, ලාභදායි මෙන්ම නිෂ්පාදනයට පහසු බවයි Oramed  ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Nadav Kidron උපුටා දක්වමින් ජෙරුසලම් පොස්ට් වෙබ් අඩවිය වාර්තා කර සිටියේ.

එපමණක්ද නොව මෙය අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලට පහසුවෙන් බෙදා හැරිය හැකිය බවයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ප්‍රකාශ කර සිටියේ.

“ COVID-19 මුඛ එන්නත මගින් වේගවත්, පුළුල් පරාසයක බෙදා හැරීමට ඇති බාධක කිහිපයක් ඉවත් කර ගත හැකි අතර, එම එන්නත නිවසේදීම ජනතාවට ලබා ගත හැකිය. එන්නත් කිරීමේ වේගය වේගවත් කිරීම සඳහා එන්නත් බෙදා හැරීමේ පහසුව අද ඉතා වැදගත් බවයි" ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.