Thursday, May 2, 2024

General line - 0115112241

ඉවත්ව යන ඇමරිකානු හමුදා වෙතින් ඇෆ්ගනිස්තානයේ දී ගුවන් ප්‍රහාරයක්




මේ වනවිට ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමේ අවසන් අදියරේ සිටින ඇමරිකානු හමුදා තලේබාන් සංවිධානයේ ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඇමරිකානු ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කර ඇත්තේ කන්දහාර් ප්‍රදේශයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර හතරක් එල්ල කළ බවයි.

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තාන හමුදා වෙතින් අල්ලා ගත් කාලතුවක්කු, යුද රථ ඇතුළු යුද්ධ උපකරණ ඉලක්ක කරගෙන මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඇෆ්ගනිස්තාන ජාතික ආරක්ෂක හමුදාවේ ඉල්ලීම මත අදාළ අවි ත්‍රස්ත ක්‍රියාවලට යොදා ගැනීම වළක්වාලීමේ අරමුණින් ඒවා විනාශ කිරීම සදහා මෙම ප්‍රහාර එල්ල කළ බවයි  ඇමරිකානු ප්‍රකාශක ජෝන් කර්බි වැඩිදුරටත් සදහන් කළේ.

මෙි අතර ,ඇමරිකාව ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමේ වැඩපිලිවෙළ තුළ  තලේබාන් සංවිධානය ඉලක්ක කරගෙන යළි ප්‍රහාර එල්ල නොකරන බව ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පසුගියදා සදහන් කළා.

එහෙත් ,ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සදහා අවශ්‍ය මෙවැනි යුදමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන  බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.

කෙසේවෙතත් ,මේ වනවිට ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්ව යාම අවසන් අදියර⁣⁣ට පැමිණ ඇති අතර සැප්තැම්බර් මාසය එළඹෙන විට එම ක්‍රියාවලිය සම්පූර්ණ වනු ඇතැයි සදහන්.

මෙි අතර ඇෆ්ගනිස්තානය පුරා ගැටුම් උත්සන්න වෙමින් ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට දිස්ත්‍රික්ක 419 න් 190 ක පමණ බලය මෙි වන විට තලේබාන් සංවිධානය සතුවී ඇති බවයි.