Saturday, April 27, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ දී ඝාතනය වන සහ තුවාල ලබන සාමාන්‍ය වැසියන්ගේ වාර්තාගත වැඩිවීමක්




ඇෆ්ගනිස්තානයේ දැනට පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් ඝාතනයට ලක්වන සහ තුවාල ලබන සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාවේ වාර්තාගත වැඩිවීමක් දක්නට ලැබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එම සංවිධානයේ වාර්තාවක් උපුටා දක්වමින් බීබීසී ලෝක සේවය වාර්තා කර ඇත්තේ, 2021වසරේ ගතවූ කාලය තුළ සාමාන්‍ය වැසියන් 1600කට වඩා වැඩි පිරිසක් ඝාතනයට ලක්ව ඇති බවයි.

එම පුද්ගල ඝාතන සංඛ්‍යාව 2020 වසරේ මුල් මාස හයට වඩා සියයට 47 ක වැඩිවීමක්.

 මේ වසරේ ගතවූ කාලසීමාවේදී සිවිල් වැසියන් 4000ක් පමණ තුවාල ලබා ඇති අතර පසුගිය 2020 වර්ෂය පුරාවටම තුවාල ලබා ඇත්තේ පුද්ගලයන් දෙදහසකට ආසන්න පිරිසක් පමණයි.

තුවාලකරුවන්ගෙන් සියයට 64 කටම වගකිව යුත්තේ ආණ්ඩු විරෝධී කැරලිකාර කණ්ඩායම් බවත් තුවාලකරුවන් අතරින් සියයට 32ක් ළමුන් බවත් සදහන්.

මෙම සංඛ්‍යා ඉදිරි දිනවලදී බෙහෙවින් ඉහළ යා හැකි බවටද අදාළ එක්සත් ජාතීන්ගේ වාර්තාව අනතුරැ අගවා තිබෙනවා.

මේ අතර, විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇෆ්ගනිස්තානයේ කන්දහාර්හි ස්පින් බෝල්දාක් දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් සියයක් පමණ ත⁣ලේඛාන් සංවිධානය විසින් ඝාතනය කර ඇති බවයි. 

අදාළ ප්‍රදේශය තලේබාන් සංවිධානය යටතට පත්වූ වහාම නාදුනන කණ්ඩායම් ලෙස පැමිණි තලේබාන් සාමාජිකයන් මෙම ඝාතන සිදුකර ඇති බවට ප්‍රදේශයේ ජනතා නි⁣යෝජිතයන් චෝදනා කරනවා.

මේ අතර ඇතැම් වාර්තා සදහන් කළේ මෙහිදී පැහැරගෙන ගිය පිරිසක්ද පසුව ඝාතනයට ලක්ව ඇති බැවින් ඝාතනය කෙරැණු සංඛ්‍යාව 450ක් පමණ විය හැකි බවයි.

ඇෆ්ගනිස්තානයේ නැවත පදිංචි කිරීමේ සහ සරණාගතයන් පිළිබද අමාත්‍යාංශයට අනුව ගතවූ මාස හතරක කාලය තුළ පමණක් පවුල් 36,000ක් පමණ අවතැන්ව තිබෙනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ සාම සාකච්ඡා ඉතා සෙමින් ඇදීයාම හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ ගැටුම් අවම කර ගැනීම ඉතා අසීරැ වී ඇති බවයි.

ඇෆ්ගනිස්තානයේ පරිපාලන දිස්ත්‍රික්ක 450න් විශාල සංඛ්‍යාවක ගැටුම් පවතින අතර දිස්ත්‍රික්ක 190 ක පමණ බලය තලේබාන් සංවිධානය යටතට පත්වී තිබෙනවා.