Friday, May 3, 2024

General line - 0115112241

යොවුන් ක්‍රිකට් පිල සමග මහේල වැටුප් නැතිව මාස 5ක් වැඩ කරයි




ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස පත්කර තිබෙනවා. ඒ අනුව මහේල ජයවර්ධන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවැත්වෙන මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී පමණක් ශ්‍රී ලංකා පිලේ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති. 

මහේල ජයවර්ධන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිලේ උපදේශකයෙකු ලෙස පත් කර ගැනීමට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු ඇති බව නෙත් ස්පෝර්ට්ස්මන් තුළින් මීට පෙර තොරතුරු වාර්තා කර තිබුණා. 

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අයි පි එල් තරගාවලියට එක්ව සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් මහේල ජයවර්ධන කටයුතු කරනවා. අයි පී එල් ක්‍රිකට් තරගාවලිය අවසන් වූ පසු ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීම එක්වීමට නියමිතයි. ඒ ජෛව ආරක්ෂිත බුබුලකින් තවත් බුබුලකට හුවමාරුවීමේ ක්‍රමවේදය යටතේයි. 

ඒ අනුව මහේල ජයවර්ධන ඔක්තෝබර් 16 වනදා සිට 23 වනදා දක්වා සතියක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම සමග රැඳී සිටිනු ඇති. එම සතියක කාලය තුළ ශ්‍රී ලංකා පිල පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග සදහා එක්වනවා. ශ්‍රී ලංකා පිල එම කාලය තුළදී නැමීබියාව, අයර්ලන්තය සහ නෙදර්ලන්තය සමග තරග වැදීමට නියමිතයි. 

එමෙන්ම මහේල ජයවර්ධන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මාස 5ක පමණ කාලයක් කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. ලබන වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම්වීම සඳහා එම කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන මෙන් කරන ලද ආරාධනාව මහේල ජයවර්ධන මෙලෙස පිළිගෙන තිබෙනවා. මාස 5 ක කාලයක් පුරා එම සේවය මහේල ජයවර්ධන විසින් ලබා දෙන්නේ වැටුප් ලබා ගැනීමකින් තොරව ගරු සේවයක් ලෙසින්. 

ශ්‍රී ලංකා පිලට මහේල ජයවර්ධනගේ සහාය හිමිවිම පිළිබද අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පැවසුවේ ඔහුගේ පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමේත්, වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමෙත් ක්‍රීඩකයින්ගේ දස්කම් ඉහළ නංවා ගැනීමට බෙහෙවින්ම උපකාරි වනු ඇති බවයි.  

ක්‍රීඩා කරන අවධියේ සිට මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන ආ දැනුම ඉතා විශිෂ්ඨයි. පළමුව ක්‍රීඩකයකු ලෙසත්, පසුව නායකයකු ලෙසත් ඔහු ඉතා විශිෂ්ඨ කාර්යය භාරයක නිරත වුණා. ඔහු මේ වන විට පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් තවත් විශිෂ්ඨ කාර්යය භාරයක් සිදුකරමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.