Thursday, May 2, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යය හමුදාවට හදිසියේම ඉන්ධන ප්‍රවාහන පුහුණුවක්





බ්‍රිතාන්‍යයේ නගර රැසක ඉන්ධන පිරවුම්හල් අසල තවදුරටත් දිගු පෝළිම් දක්නට ලැබෙනවා. එරට බොහෝ ඉන්ධනහල් මේවනවිටත් සිය ඉන්ධන තොග අවසන් වී ඇති බවට දැක්වෙන පුවරු ප්‍රදර්ශනය කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ හමුවේ ඉන්ධන අර්බුදය දිනෙන් දින උග්‍රවෙමින් ඇති අතර පිරවුම්හල් අසල රැස්වන ජනතාව ගුටිබැට හුවමාරු පවා සිදුකර ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින තත්ත්වය හමුවේ ඉන්ධන සැපයුම කෙසේ හෝ යථාතත්ත්වයට පත් කිරිම සඳහා හමුදාවේ සහය ලබා ගැනීමට බ්‍රිතාන්‍යය රජයට මේවනවිට සිදුව තිබෙනවා. 

ඒ අනුව බ්‍රිතාන්‍යය හමුදාවේ ට්‍රක් රථ රියදුරන් ලෙස පුහුණුව ලත් නිලධාරීන් 150 දෙනෙකු පමණ මේවනවිටත් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා පුහුණු කෙරෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඒ අනුව අවශ්‍යතාව මතුවු වහාම ඉන්ධන ප්‍රවාහන සඳහා හමුදා සාමාජිකයින් යෙදවීමට බ්‍රිතාන්‍යය මේවනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. 

කෙසේවෙතත් බ්‍රිතාන්‍යය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම චෝදනා කරන්නේ රටේ ජනතාව අනවශ්‍ය අයුරින් ඉන්ධන රැස්කරමින් සිටින බවටයි. රට තුළ ඉන්ධන හිගයක් නොමැති බවත්, ජනතාව අනවශ්‍ය පරිදි ඉන්ධන රැස්කිරීම හා ඉන් ඇතිවන ඉල්ලුමට සරිලන පරිදි ඉන්ධන සැපයීමට නොහැකි වීම හේතුවෙන් මෙම ව්‍යාකූල තත්ත්වය හටගෙන ඇති බවත් එම අමාත්‍යවරුන් පෙන්වා දී තිබෙනවා. 

කෙසේවෙතත් බ්‍රිතාන්‍යය මේවනවිට දැඩි ට්‍රක් රථ රියදුරන්ගේ හිගයකට මුහුණ පා සිටින අතර ඉන්ධන හිගය ද හටගෙන ඇත්තේ ඉන්ධන ප්‍රවාහනය සඳහා ට්‍රක්රථ රියදුරන් නොමැතිවීම හේතුවෙන්. 

මේවනවිට බ්‍රිතාන්‍යය තුළ ට්‍රක්රථ රියදුරන් ලක්ෂයකගේ පමණ හිගයක් පවතිනවා. ඊට හේතුවී ඇත්තේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය හා කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදෙස් රියදුරන් බ්‍රිතාන්‍යයෙන් පිටව යාමයි. පවතින තත්ත්වය හමුවේ ඉන්ධන හිගයක් පමණක් නොව බ්‍රිතාන්‍යයේ සුපිරි වෙළඳසැල්වල අත්‍යවශ්‍ය භාණ්ඩවල හිගයක් ද පවතින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණ කළේ.