Saturday, May 4, 2024

General line - 0115112241

දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය අද ඇරඹේ




දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය මාලදිවයිනේදී අද ආරම්භ වනවා. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුලුව දකුණු ආසියානු රටවල් 5ක් සහභාගි වීමට නියමිතයි. 

තරගාවලිය ආරම්භ කරමින් මාලේ ජාතික ක්‍රීඩාංගණයේදී තරග 2ක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු තරගය නේපාලය සහ සත්කාරක මාලදිවයින අතර පැවැත්වීමට නියමිතයි. අනෙක් තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද පැවැත්වෙනවා. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 4 යි 30ට ආරම්භ වීමට නියමිතයි. මෙවර ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ දැල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරායි. 

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දකුණු ආසියානු පාපන්දු තරගාවලියට පෙර සූදානමක් ලෙස සෞදියේදී පුහුණු සැසියකට එක් වුණා. එරට පාපන්දු ක්‍රීඩා සමාජයක් සමග පැවති පුහුණු තරගයකට ද එක්වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම එම තරගය ගෝල 6ට එකක් ලෙස ජය වාර්තා කළේ කදිම ආරම්භයක් ලබා ගනිමින්.

 දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ තරග ජයග්‍රහණ වෙනුවෙන්  ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයින්ට වැටුපට අමතර බෝනස් දීමනා ලබාදීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දැක් වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් පැවසුවේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය, නේපාලය සහ සත්කාරක මාලදිවයින දකුණු ආසියානු පාපන්දු කිරුළ වෙනුවෙන් මෙවර තරග වදින අතර පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය මෙවර තරගාවලියට එක්වන්නේ නැහැ. 1995 වසරේදී දකුණු ආසියානු පාපන්දු ශූරතාව දිනා ගැනීම ශ්‍රී ලංකාව එතෙක් මෙතෙක් දැක්වූ ඉහළම දක්ෂතාව වනවා. සම්පත් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ශ්‍රී ලංකාවට එම ශූරතාව දිනා දීමට සමත් වුණා.

ඉන්දියාව අවස්ථා 7කදී දකුණු ආසියානු පාපන්දු ශූරතාව දිනා ඇති අතර මාලදිවයින දෙවතාවක් ශූරයින් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය එක් අවස්ථාව බැගින් දකුණු ආසියානු පාපන්දු කිරුළ තමන් සතු කර ගත්තා. අවසන් වරට 2018 වසරේ පැවති දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ශූරයින් බවට පත් වුයේ මාලදිවයිනයි.