Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - නේපාල තීරණාත්මක පාපන්දු ගැටුම අද




13 වන දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ, නේපාල පාපන්දු කණ්ඩායමට එරෙහිවයි. මෙම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 09යි 30ට ආරම්භ වනවා. නේපාලය අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ 168 වන ස්ථානයේයි. 

ශ්‍රීී ලංකා පාපන්දු කණ්ඩායම එම සටහනේ 205 වන ස්ථානයේ පසුවනවා. නේපාල පාපන්දු කණ්ඩායම මෙම තරගාවලියේ පළමු තරගයේදී වත්මන් දකුණු ආසියානු පාපන්දු ශූරයින් වන සත්කාරක මාලදිවයින පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කළා. ඒ අනුව නේපාල කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහි මානසිකත්වයකින්. 

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වූ පළමු තරගය බංගලාදේශය හමුවේ ගෝල 1 බින්දුවක් ලෙස පරාජයට පත් වුණා. ඒ අනුව දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේ ජය තීරණාත්මක වි තිබෙනවා. 

මෙවර දකුණු ආසියානු පාපන්දු තරගාවලිය සඳහා ඉන්දියාව, නේපාලය, මාලදිවයින, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව එක්ව සිටිනවා. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණු ගන්නා කණ්ඩායම් දෙක මෙවර දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.