Sunday, May 5, 2024

General line - 0115112241

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් IPL අවසන් වටයට




මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට විරාට් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ, පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 06 කින් පරාජය කරමින්. බැංගලෝර් කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබූ 03 වන කණ්ඩායමයි.

චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් ද මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ද රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරනවා.

කෙසේවෙතත් ඊයේ පැවැති තරගයේදී ඔවුන් දෙදෙනාට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවූයේ නැහැ. මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබන සිව්වන කණ්ඩායම සඳහා තියුණු සටනක් නිර්මාණය වී තිබෙනවා.

කොල්කටා නයිට් රයිඩර්ස්, ජන්ජාබ් කිංග්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම්වල ඉදිරි තරග අනුව අවසන් වටයට සුදුසුකම් ලබන සිව්වන කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කෙරෙනු ඇති.

ගියවර අයි පී එල් ශූරයින් වූ මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේවනවිට මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ 07 වන ස්ථානයේයි.

ඔවුන් අවසන් වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ඉදිරි තරග 02 අනිවාර්යයෙන්ම ජයගත යුතු වනවා.