Sunday, May 5, 2024

General line - 0115112241

මුම්බායි ඉන්දියන්ස් පිලේ අයි පී එල් සිහිනය බොද වෙයි




මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන් කණ්ඩායම මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් වටය පිළිබද තැබූ බලාපොරොත්තු ඊයේ බිද වැටුණා. ඒ, ඊයේ පැවති සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව තරගය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 170ක පරතරයක් සහිතව තරගය ජය ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

 ඒ අනුව ෂාරුක් ඛාන් හිමිකාරීත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සිවුවන කණ්ඩායම ලෙස මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා. ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල් ඉතිහාසයේ දී ඔවුන් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කළා. ඒ, නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 235ක් ලබා ගනිමින්. 

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඉෂාන් කිෂන් පන්දු 32කින් වේගවත් ලකුණු 84ක් රැස් කළා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 11ක් සමගින්. සූර්යකුමාර් යාදෙව් පන්දු 40කින් ලකුණු 82ක් රැස් කිරීමට සමත්වුණා.  මෙම තරගය මුම්බායි ඉන්දියන් කණ්ඩායම ලකුණු 42කින් ජය හිමිකර ගත්තද අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට එය ඔවුන්ට ප්‍රමාණවත් වූයේ නැහැ. 

ඒ  කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය අභිබවා යාමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නොහැකි වීම හේතුවෙන්. කෙසේ වෙතත් මෙම තරගයෙන් මුම්බායි කණ්ඩායම අවම වශයෙන් ලකුණු 170ක ජයක් වාර්තා කළේ නම් ඔවුන්ට අවසන් වටයට පිවිසීමට අවස්ථාව වී තිබුණා. 

ලකුණු 236ක ඉලක්කයක් හඹාගිය සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 193ක් පමණයි. ඊයේ පැවති අනෙක් තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමත්වුණා.

 ඒ අනුව මෙවර අයි පී එල් තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ නිමා වූ අතර දිල්ලි කැපිටල්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් අවසන් වටය සදහා සුදුකම් ලබා ගත්තා. මුම්බායි ඉන්දියන් කණ්ඩායම අයි පී එල් ශූරතාව වැඩිම වාර ගණනක් දිනා ගත් කණ්ඩායම වන අතර ඔවුන් 5 වතාවක් එම ශූරතාව දිනා ගැනීමට සමත්වුණා. 

ඒ අනුව අවසන් වරට පැවති අයි පී එල් තරගාවලියේ දෙකේදී ශූරයින් වූ මුම්බායි ඉන්දියන් කණ්ඩායමට මෙවර තරගාවලියේදී හිමි වූයේ 5 වන ස්ථානයයි. මුම්බායි ඉන්දියන් කණ්ඩායම දිනා ගත් අයි පී එල් ශූරතා 5 න් ඔවුන් 3ක්ම දිනා ගෙන ඇත්තේ මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේයි. මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් වටයේ තරග හෙට ආරම්භ වනවා. පළමු තරගය පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ එහි දෙවන ස්ථානය දිනා ගත් චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතරයි. එම තරගය ඩුබායි හිදි පැවැත්වෙනවා.