Saturday, November 2, 2024

General line - 0115112241

ප්‍රතිවාදීන්ට එරෙහිව සියළු සැලසුම් සකසා මහේල ශ්‍රී ලංකා පිලෙන් පිටවෙයි




තමන් ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවතට පැමිණියේ මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගවදින සියලු කණ්ඩායම්වලට එරෙහි සැලසුම් සකස් කිරීමෙන් අනතුරුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන පවසනවා. 

ඔහු කියා සිටියේ කෙසේවෙතත් තමන් විඩියෝ තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ ඉදිරියටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග සම්බන්ධ වී සිටින බවයි. 

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම් සුපිරි කණ්ඩායම් 12දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිළ සහභාගීවන පළමු තරගය අද පස්වරු 3යි 30ට සාජාහිදී පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. 

සාජා තනතීරුව සම්බන්ධයෙන්ද මහේල ජයවර්ධන අදහස් පළ කළ අතර ඔහු එහිදී කියා සිටියේ පෙර පැවති තරගවලදී සාජා තනතීරුව වේගපන්දු යවන්නන්ට වාසි දායක වූ බවයි. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා පන්දුවාර 20තරග 11 පවත්වා ඇති අතර ඉන් තරග 07ක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. බංග්ලාදේශ කණ්ඩායම ජය ගෙන ඇත්තේ තරග 04ක් පමණයි. 

බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 ශ්‍රේණිගත කිරිම් සටහනේ 07වන ස්ථානයේ පසුවන අතර  ශ්‍රී ලංකාව එම සටහනේ 10වන ස්ථානයේ පසු වනවා. 

මේ අතර කාගේත් වැඩි අවධානය දිනා ගත් සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගයද අද රාත්‍රීයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

ඩුබායිහිදී පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07යි 30ට ආරම්භ වීමට නියමිතයි. ඉන්දියාව සහ පකිස්ථානය 2016 වසරෙන් පසු පන්දුවාර 20 තරගයකට එක්වන පළමු අවස්ථාව මෙය වනවා. 

දෙරට අතර මේ දක්වා පන්දුවාර විස්ස තරග 08ක් පවත්වා ඇති අතර ඉන් තරග 06ක් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. පකිස්ථානය ජය ගෙන ඇත්තේ ඉන්දියාවට එරෙහිව එක් තරගයක් පමණයි‘.  2012 වසරෙන් පසු ඉන්දියවට එරෙහිව විස්සයි විස්ස තරග ජයක් වාර්තා කිරීමට පකිස්ථානය සමත් වි නැහැ.