Saturday, November 2, 2024

General line - 0115112241

සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව ජනාධිපති ලේකම්ගෙන් නිීතිමය පියවර




පොහොර සිද්ධියක් සම්බන්ධයෙන් තමාට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර පවසනවා. 

ඒ පිළිබඳ ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන්ට එරෙහිව ජනාධිපති ලේකම්වරයා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ. 

ඉන්දියාවෙන් පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ඉලක්කකර නිර්මාණය කළ සාවද්‍ය ප්‍රවෘත්ති ජනාධිපති ලේකම්වරයා ප්‍රතික්ෂේප කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

එම ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගතව නිර්මාණය කළ ඒවා බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙනවා. රාජ්‍ය බැංකුවක ගිණුමක් විවෘත කිරීම අදාළ බැංකුව සහ ගිණුමේ හිමිකරු අතර කාර්යභාරයක් වන බවත් එහිදී නියමිත ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කිරීම බැංකුවට අදාළ වගකීමක් බවයි ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර සඳහන් කළේ. 

මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හුවාදක්වමින් තමා ඉලක්කකොට සැලසුම් සහගතව ගෙන යන සාවද්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් දැනටමත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළා