අග්‍රහාර රක්ෂණ ක්‍රමය සදහා මාසිකව රුපියල් 400 ක මුදලක් වැටුපෙන් කපා ගැනීමට රජය ගත් තීරණයට තමන් විරුද්ධ බව විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය පවසනවා. එහි ප්‍රධාන ලේකම් කේ සරත් ලාල් පෙරේරා පැවසුවේ එම රක්ෂණ ක්‍රමය සදහා රජයේ සේවකයන්ගෙන් මාසිකව අය කරන මුදලට වඩා වැඩි මුදලක් විශ්රාමිකයන්ගෙන් අය කිරීම සඳහා ද තමන් විරුද්ධ බවයි.
එලෙස විශ්‍රාමිකයන්ගේ වැටුපෙන් මුදල් කපා හැරීම නතර කරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අද පෙරවරුවේ ලිපියක් ද භාරදෙන බවයි විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය පැවසුවේ.
කෙසේවෙතත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සදහන් කළේ විශ්‍රාමිකයන්ගේ කැමැත්ත මත පමණක් ඔවුන් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට බඳවා ගන්නා බවයි. එසේ අකමැති විශ්‍රාමිකයන් ලබන 15 වනදාට පෙර සිය දෙපාර්තමේන්තුව හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් අංශයන් වෙත දැනුම් දීම සිදුකළ යුතු වනවා.
2016 වසරේ ජනවාරි මස පළමුවනදායින් පසුව විශ්‍රාම ගන්නා රාජ්‍ය නිලධාරීන් සඳහා පමණක් අග්‍රහාර රක්ෂණ ක්රමයේ ප්රතිලාභ ලබාදීම දැනට සිදු කෙරෙනවා.
රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් සියලුම විශ්‍රාමිකයින් සඳහා අදාළ වන මෙම රක්ෂණ ක්රමයේ ප්රතිලාභ විශ්‍රාමිකයින් සඳහා ජීවිතාන්තය දක්වා හිමිවන අතර ඔවුන්ගේ කාලත්‍රයා, අනත් දරුවන්ට හෝ ආබාධිත දරුවන්ට මෙම ප්රතිලාභ හිමි නොවන බව සඳහන්.