Saturday, April 27, 2024

General line - 0115112241

රියදුරු බලපත්‍ර විභාගයත් වෙනස් වෙයි




රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා පෙනී සිටිය යුතු ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුව යටතේ පැවැත්වීමට අවධානය යොමුව තිබෙනවා. නෙත් නිවුස් කළ විමසීමකදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කෙරෙමින් පවතින බවයි. රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වැඩි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් මෙම තීරණයට එළඹීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

දැනට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව පවතින ශාලාවන්හි ඉඩ ප්‍රමාණය අනුව වරෙකට යෙදිය හැක්කේ අයදුම්කරුවන් 50 ක් පමණයි.  

මේ හේතුවෙන් ලිඛිත පරීක්ෂණයට ඉදිරිපත්වීම සඳහා ඇතිවන තදබදය අවම කිරීමට මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව දැනට විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විභාග මෙන් දිවයිනේ විවිධ ස්ථානවල වැඩි අපේක්ෂකයින් පිරිසක් යොදා ගනිමින් එකවර මෙම ලිඛිත පරීක්ෂණ පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. 

එමෙන්ම මෙම විභාගයෙන් හිමිවන ලකුණු මට්ටම වසරක කාලයක් දක්වා වලංගු කිරීමට ද අවධානය යොමුව තිබෙනවා. කිසියම් පුද්ගලයෙකුට ඉදිරියේදී රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වසරකට පෙර ලිඛිත පරීක්ෂණයට මුහුණදීමට හැකියාව පවතින බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

එමඟින් රියදුරු බලපත්‍රය ලබා ගැනීමට පෙර මුහුණ දෙන ලිඛිත පරීක්ෂණයේදී ඇතිවන තදබදය අවම කර ගැනීමටද මෙමගින් හැකියාවක් පවතින බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.