Friday, May 3, 2024

General line - 0115112241

දඹුල්ලට තියුණු ජයක්




ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සමත්වුණා. 

ඒ කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට මෙවර තරගාවලියේ තෙවන පරාජය අත්කර දෙමින්. 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 9ක් දැවී ලකුණු 138ක් රැස් කළා. නිරෝෂන් දික්වැල්ල පන්දු 16කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 30ක්. 

 පන්දු යැවීමේ දී රවී රාම්පෝල් හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 3 බැගින් බිද හෙලුවා. මෙම තරගයේ දී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩයමේ වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක් උණුසුම් වචන හුවමාරුවකට එක් වීම විශේෂත්වයක්. මීට පෙර පැවැති තරගයේ දී තිසර පෙරේරා සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වූ නවීන් උල් හක් මෙම තරගයේ දී චාමික කරුණාරත්න සමග උණුසුම් වචන හුවමාරුවක නිරත වන අයුරු දක්නට ලැබුණා.

ලකුණු 139ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කලම්බෝ ස්ටාර්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. 

කෙසේ වෙතත්, දිනේෂ් චන්දිමාල් සටන්කාමී ඉනිමක් දියත් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය ආසන්නයට රැගෙන යාමට සමත් වීම කැපී පෙනුණා. 

කෙසේවෙතත් කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි. 

යළිත් අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා ලකුණු 5කටත්, අශාන් ප්‍රියන්ජන් ලකුණු 3කටත් දැවී ගියා.   නායක ධනංජය ද සිල්වා ලකුණු 33ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් පන්දු 40කට මුහුණදෙමින් නොදැවි ලකුණු 65ක් රැස් කළා. ඒ හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් සමගින්. 

තරගයේ අවසන් පන්දුවේදී කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 6ක් අවශ්‍යව තිබුණා. කෙසේ වෙතත් එම පන්දුවේදි දිනේෂ් චන්දිමාල්ට ලබාගත හැකි වූයේ ලකුණු හතරක් පමණයි.  

පන්දු යැවීමේ දී තරිදු රත්නායක ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත්තා. ඉම්රාන් තහීර් ලකුණු 15කට කඩුලු 2ක් බිද හෙලුවා. තරගයේ වීරයා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ තරිඳු රත්නායක.