Monday, April 29, 2024

General line - 0115112241

මහේලගේ සමකාලීනකයෙකුත් ක්‍රිකට් පුහුණුකරු ධුර දෙකකට අයදුම් කරයි




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරුණ පුහුණුකරු ධුරය සදහා අයදුම්කර තිබෙනවා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සදහාද ඔහු අයදුම්කර ඇති බවයි වාර්තා වන්නේ. 

අවිශ්ක ගුණවර්ධන මෑත කාලයේ මෙරටින් බිහි වූ දක්ෂ පුහුණුකරුවෙකු ලෙසයි සැලකෙන්නේ. ඔහු මේ වන විට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කරනවා. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පිට පිටම එක්දින තරගාවලි දෙකක් ජය ගැනීම සමත් වුණා. 

යොවුන් ලෝක ශූරයන් වූ බංග්ලාදේශය 5 ට බින්දුවක් ලෙසත්, එංගලන්ත යොවුන් කණ්ඩායම 3 ට 2ක් ලෙසත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හමුවේ එහිදී පරාජය වීම කැපී පෙනුනා. 

අවිශ්ක ගුණවර්ධන මීට පෙර අවස්ථාවකදී ද ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා. මේ වන විට ජාතික කණ්ඩායම නියෝජනය කරන චරිත් අසලංක, වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, ලහිරු ගමගේ ඇතුලු ක්‍රීඩකයින් එවක අවිශ්ක ගුණවර්ධනගෙන් ගුරුහරුකම් ලැබූ ක්‍රීඩකයින්. අදටත් එම ක්‍රීඩකයින් ඔහුගෙන් සිය දක්ෂතා වැඩිදියුණු කර ගැනීමට ඔහුගෙන් උපදෙස් ලබා ගන්නා බවයි වාර්තා වන්නේ.

අවිශ්ක ගුණවර්ධන මීට පෙර 2016 - 2019 කාලසීමාවේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළ අතර එහිදීද ඔහු පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කැපී පෙනෙන දස්කම් දැක්වූවා. එම කාලසිමාවේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පරාජයට පත්වූයේ එක් තරගාවලියක් පමණයි. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දෙවතාවක් ආසියානු ශූරයින් බවටද පත්වුණා. 

අවිශ්ක ගුණවර්ධනගේ මෙම හැකියාව හේතුවෙන් ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පිතිකරුණ පුහුණුකරු ලෙසද පත්කෙරුණා. ජාතික කණ්ඩායමට ඔහුගේ සේවය කෙටිකලකින් අහිමි වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුට එරෙහිව පදනම් විරහිත චෝදනා ගොනු කරමින් තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීම හේතුවෙන්. 

වසර 2කට වැඩි කාලයක් මේ හේතුවෙන් අවිශ්ක ගුණවර්ධනට ක්‍රිකට්වලින් ඉවත්වීමට සිදු වූ අතර ඒ අනුව ඔහුගේ සේවය ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අහිමි වුණා. 

අනතුරුව අවිශ්ක ගුණවර්ධන එරෙහි චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහුට පැනවූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට කටයුතු කළා. 

අවිශ්ක ගුණවර්ධන , මහේල ජයවර්ධනගේ සමාකාලීන ක්‍රීඩකයින් වන අතර අවිශ්ක ගුණවර්ධන 1993 1994 කාලසීමාවේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන සමයේ උප නායකයා වූයේ මහේල ජයවර්ධනයි. 

අවිශ්ක ගුණවර්ධන මෙරට ලාබාලතම යොවුන් ක්‍රිකට් නායකයාද වනවා. යොවුන් ක්‍රිකට් පිලේ නායකයා ලෙස කටයුතු කරන විට ඔහුගේ වයස වයස අවුරුදු 16ක්. කුඩා කල සිටම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සහජ හැකියාවන් පෙන්නුම් කළ අවිශ්ක ගුණවර්ධන මෙරටින් බිහි වූ දක්ෂ ආරම්භක පිතිකරුවෙකුද වනවා. 

මහේල ජයවර්ධන ලබන ජනවාරි 01 වනදා සිට වසරක කාලයක් ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පියවර ගත්තා. 

ඔහුගේ සමකාලීනයෙකු වූ පුහුණුකරු ධුරවල අත්දැකිම් බහුල අවිශ්ක ගුණවර්ධන ජාතික කණ්ඩායමේ පිතිකරුණ පුහුණුකරු ධුරයට හෝ ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට පත් වුවහොත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හෙට දවස පෙරට වඩා යහපත්වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.