Monday, April 29, 2024

General line - 0115112241

පදක්කම් දිනූ බර ඉසිලීමේ කණ්ඩායමට ගුවන් තොටුපොලේදී කුඩම්මාගේ සැලකිලි




මෙවර උස්බෙකිස්තානයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශුරතා තරගාවලියේදී පදක්කම් 7ක් දිනා ගත් චින්තන ගීතාල් විදානගේ සහ ඉන්දික දිසානායක ප්‍රමුඛ ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. 

කෙසේ වෙතත් ඔවුන් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යංශය කිසිදු නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේ නැහැ. 

පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලිමේ තරගාවලියක ශ්‍රී ලංකාව වැඩිම පදක්කමක් සංඛ්‍යාවක් දිනා ගත්තේ මෙවරයි. 

රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගනිමින් ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම ලද ඉතිහාසගත මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ට නිසි  පිළිගැනීමක් ලබාදීමට ක්‍රීඩා බලධාරීන්ට අමතක වීම කණගාටුවට කරුණක්. 

එලෙස රට නියෝජන කර පදක්කම් දිනා දිවයිනට පැමිණි ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමට කටුනායක ගුවන්තොටුපොලේදී දැඩි අපහසුතාවන්ටද පත්වීමට සිදුව තිබෙනවා. 

වෙනත් තරග ඉසව්වලදී පදක්කම් දිනා එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රභූ පර්යන්තයෙන් ඇතුලුවීමට අවස්ථාව සලසා දී තිබුණද බර ඉසිලීමේ කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියේ පෝලීම්වල රැදී සිටිමින් සාමාන්‍ය ගුවන් මගී පර්යන්තයෙන්. 

නොයෙක් කම්කටොලු මැද පුහුණූවිම් සිදු කර පදක්කම් දිනූ සිය බර ඉසිලීමේ වීරයන් පිළිගැනීමට සදහා ගුවන් තොටුපළ වෙත අද අලුයම පැමිණ තිබුණේ බර ඉසිලීමේ සම්මේලනයේ නිලධාරීන්, ගුවන් සහ නාවික හමුදා නිලධාරීන් පමණයි. 

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රට නියෝජනය කිරීම සදහා අවශ්‍ය පහසුකම් ලබාදෙනවා සේම ඔවුන් ජයග්‍රහණ ලබන අවස්ථාවේ නිසි පිළිගැනීමක් සහ ඇගයීමක් කිරීම ක්‍රීඩා බලධාරීන් සතු වගකීමක්  වනවා. 

මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝට්ස්මන් ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරියගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පදක්කම් දිනූ බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියේදී මුදල් ත්‍යාග පිරිනමන බවයි.